Wednesday, October 10, 2012

කැපූ කමිස අතේ ප්‍රේමය


සමරිසි ප්‍රේමය පිළිබඳ චීන ඉතිහාසයේ කතා පුවත් එතරම් විරල නොවේ. මේ චීන ඉතිහාසයේ 'කැපූ කමිස අතේ ප්‍රේමය'(Passion of the cut sleeve) නමින් හැඳින්වෙන එවන් ප්‍රකටම කතා පුවතයි. එනම් ක්‍රි.පූ 7 සිට ක්‍රි.පූ 1 වසර දක්වා චීනය පාලනය කළ හන් රාජවංශයේ අයි අධිරාජයා(Emperor Ai of Han) සහ රාජ්‍ය නිලධාරියෙකු වූ ඩොං සියාං(Dong Xian) අතර ඇතිවූ ප්‍රේම කතාවයි.

හන් රාජ සමයේ චීනය
ක්‍රිස්තු පූර්වයෙන් 7 වන වසර වනවිට අපරදිගින් ටිබෙටයේ සිට පෙරදිගින් කහමුහුද දක්වා පැතිරීගිය උතුරින් මහා ප්‍රාකාරයෙන්ද ආරක්ෂා වූ චීනය පාලනය කරන ලද්දේ අපරදිග හන් රාජවංශය විසිනි. එවක පාලකයා වූ චෙං අධිරාජයා(Emperor Cheng) හදිසියේම මිය ගොස් තිබිණි. තමන් හට දරුවන් නොමැති නිසාම චීනයේ මීළඟ අධිරාජයා ලෙස චෙං විසින් ඔහුගේ සහෝදරයාගේ පුතු වූ සින් කුමරු(Prince Xin)  කිරුළ හිමි කුමරා ලෙස නම් කරනු ලැබ තිබුණි. ඒ අනුව සින් කුමරු චීනයේ හන් රාජවංශයේ අයි අධිරාජයා ලෙස හොවාංහෝ ගඟ අසබඩ පිහිටි අධිරාජ්‍යයේ අගනුවර වූ චාං අන්හි(Chang An) වෙයියාං මන්දිරයේදී(Palace Weiyang) අභිෂේක ලැබුවේය. වාසල් දොරටු දොලහකින් යුත් උස පවුරු සහ ගැඹුරු දිය අගල් වලින් පරික්ෂිප්ත වූ චාං අන් මහා අගනගරයේ අක්කර 1200ක් තරම් පෙදෙසක වෙයියාං මාළිගා මන්දිරය පිහිටා තිබුණි. එදා මෙදා තුර මිනිස් ඉතිහාසයේ ඉදිකරන ලද සුවිසල්ම මාළිගා සංකීර්ණය වූ එය තුළ චීනයේ අධිරාජයා ලෙස යන්තම් විසිහැවිරිදි විය එළඹෙන විට කිරුළු පළඳින්නට තරම් සින් කුමරු වාසනාවන්ත විය.
වෙයියාං මන්දිරයේ සිතුවමක්
සින් කුමරු රජවුණු වසරේම ඔහුගේ අගමෙහෙසිය වන්නට කුමරු යුවරජුව සිටි කාලයේ පටන්ම සිටි සියාඕයි(Xiaoai) කුමරියද ඔහුගේ අධිරාජිනිය බවට පත්විය. එහෙත් අයිට ඇයකෙරේ සිතක් පහළ වුණේ නැත. ඇත්තෙන්ම ඔහුට කාන්තාවන් ගැන හැඟීමක් නොවූ බවයි ක්‍රි.ව. පළමු සියවසේ සිටි චීන ඉතිහාසඥ බන් ගු (Ban Gu) සඳහන් කර ඇත්තේ.කුමරුගේ පියා ඔහු සිවිහැවිරිදි වියේම මියගිය බැවින් ඔහු කුඩාකළ සිටම ඇතිදැඩිවුණේ ඔහුගේ මවවූ ඩින්ග් අගමෙහෙසිය(Consort Ding) සමඟ නොව මිත්තණිය වූ ෆූ අගමෙහෙසිය(Consort Fu) සමඟය. මෙනිසා අයිගේ රාජ්‍යපාලනයට ෆූ අගමෙහෙසියගේ මහත් බලපෑමක් තිබිණි.
වෙයියාං මන්දිරයේ වාසල් දොරටුවක සිතුවමක්

එහෙත් අයි අධිරාජයා ඒ වනවිට යොවුන්වියේ පසුවූ බැවින් වයස මුහුකුරා යනතෙක් චීන සම්ප්‍රදාය අනුව බලතල බොහොමයක් පැවරී තිබුණේ වයසින් වැඩිම වැන්දඹු අධිරාජිණියගේ තනතුර(Grand Empress Dowager) තිබූ අයිගේ සීයා වූ යුආන් අධිරාජයාගේ ප්‍රධාන අගමෙහෙසිය සහ චෙං අධිරාජයාගේ මව වූ වාං අධිරාජිණිය(Empress Wang)ටය . එමෙන්ම චීනයේ බොහොමයක් බලතල පැවරී තිබුණේ වාං අධිරාජිණියගේ වාං වංශයේ පිරිසටය. එනිසා අයිට බලපෑම් කළ ෆූ, වාං වංශයේ තිබූ ප්‍රධාන රාජ්‍ය තනතුරු වැඩි ප්‍රමාණයක් අයිගේ මවගේ වංශය වූ ඩිං සහ මිත්තණියගේ වංශය වූ ෆූ වංශයට ලබාදුන්නාය.

එවක තිබූ නාස්තිකාර පාලනය අයි අධිරාජයා අවසන් කළේය. රාජකීයයන් සහ වංශවතුන්ගේ සේවක සංඛ්‍යාව අඩු කිරීමටද ඔහු යෝජනා ඉදිරිපත් කළේය. මෙනිසා දුර්වල පාලකයකු වූ යුආන් අධිරාජයාට සහ ප්‍රකෝපකාරී නාස්තිකාර පාලකයකු වූ චෙං අධිරාජයාට පසුව රජවූ තරුණ අයි අධිරාජයා බුද්ධිමත් කාර්යශූර පාලකයකු වනු ඇතැයි චීන මහ ජනයා සහ රාජ්‍ය නිලධාරීහු විශ්වාස කළහ.

එහෙත් ඔහුගේ මිත්තණිය වූ ෆූ, බලයට කෑදර වී අධිරාජීණියකගේ තනතුර ලබාත්තාය. ඇය එවක චීන හමුදාවේ සේනාධිපති වාං අධිරාජිණියගේ බෑනා වූ වාං මාං (Wang Mang) සමඟ ආරවුලක් ඇතිකරගත් නිසා ඔහු තම තනතුරින් ඉල්ලා අස්විය. මේ සමඟ එවක බලවත්ව සිටි වාං වංශයේ බලය පිරිහී ගියේය.  එතැනින් නොනැවතුණු ෆූ  තම සතුරන් බොහොමයක් තම දේශපාලන බලය උපයෝගීකරගෙන උපක්‍රමශීලීව බලයෙන් පහකර මරා දැමුවාය.  අවසානයේ ක්‍රි.පූ 5වසරේදී වඩාත් බලවත් වැන්දඹු අධිරාජිණියගේ තනතුර ලබාගෙන අයිගේ රාජ්‍ය පාලනයට ඉමහත් බලපෑමක් සිදුකරන්නට විය. අයිගේ මව වූ ඩිං අධිරාජිණිය එම වසරේම මිය ගිය අතර ෆූගේ මේ දේශපාලන බලපෑම, දූෂණය ඉහළ යාම සහ ජනයා මත අධික බදු පැටවීම නිසා  මහජනයා අයි අධිරාජයා කෙරෙහි කළකිරෙන්නට වූහ

ඩොං සියාං
ක්‍රි.පූ 4වන වසර උදා විය. රජමාලිගාවේ රාජකීය පරිවාරකරුවකු සහ රාජකීය අශ්ව කටයුතු අධිකාරීවරයකු ලෙස ඩොං සියාං(Dong Xian) නම් දහනව හැවිරිදි තරුණයකු  පත්කරනු ලැබ තිබුණි.  රාජ සභාවේ සිටි උස කඩවසම් තරුණයකු වූ ඔහු වෙත අයිගේ සිත ඇදීගියෙන් තමන්ගේ පරිවාර සගයකු ලෙස මාළිගාවේ නවතින්නැයි අයි, ඩොං සියාංට ආරාධනා කළේය. එහෙත් ඩොං මේ වන විට විවාහ වී සිටියේය. දිනෙන් දින ඩොං කෙරේ තම සිත තුළ තිබූ ආශාව වැඩීයාම නිසා ඔහුව මාලිගාව තුළ රඳවාගැනීමට සිතූ අයි, ඩොංගේ බිරිඳට ඈ කැමති ඕනෑම වෙලාවක රජ මාලිගාවට පැමිණීට සහ ඉවතට යාමට විශේෂ වරප්‍රසාදයක් ලබාදුන්නේය. එහෙත් පසුව ඈ මාළිගාවේම නැවතුණාය. මෙනිසා ඩොංට මාළිගාවෙන් පිටතට යාමට කිසි හේතුවක් තිබුණේ නැත.

අයි අධිරාජයා මාලිගාවෙන් පිටතට යන සෑම අවස්ථාවකම ඩොං ඔහු සමඟ ගියේය.  අයි මාළිගාවට යළි පැමිණි සෑම විටම ඔහු අධිරාජයා සමඟ එකතු විය.දිනෙන් දින වැඩීගිය දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාව නිසා රජමාළිගාව තුළ සිදුවූ එක් සිදුවීමක් චීනයේ සමරිසි ප්‍රේමය පිළිබඳ පුරාවෘත්තයක් බවට පත්විය.


අයි තම රාජකීය ඇඳුමේ කමිස අත කපයි.
 දිනක හවස් වරුවේ අයි සහ ඩොං සියාං දෙදෙන රාජකීය සයනයේ නිදාගෙන සිටියහ. අයිට රාජසභාවට යාමට කැඳවීමක් ලැබුණි. අයි අවදිවී බලන විට ඩොං සියාං තවමත් නින්දේ පසුවිය. ඔහු   අයි හැඳසිටි රාජකීය ඇඳුමේ කමිස අත තම සිරුරට යටකරගෙන නිදාගෙනසිටියේය. මෙය දුටු අයිට ඩොංව අවදිකිරීමට සිත දුන්නේ නැත. දෙවරක් නොසිතූ ඔහු තම වටිනා රාජකීය ඇඳුමේ කමිස අතේ යටවී තිබූ කොටස කපාදමා නැගිට රාජ සභාවට ගියේය. එවිට ඇමතිවරු මේ ඇඳුමේ වෙනසට හේතුව විමසූහ. අයි සිද්ධිය ඔවුන්ට පැවසුවේය. පසුව එම කොට කමිස අත ඇමතිවරු අතර විලාසිතාවක් බවට පත්විය.

ඩොංට තිබූ ප්‍රේමය නිසාම අයි අධිරාජයා විශාල මිල මුදල්වලින් ඔහුට තෑගි පිරිනැමුවේය. ඩොංගේ පවුලේ සාමාජිකයින්ට සංග්‍රහ කිරීමටද අයි අමතක නොකළේය.  ඔහු තම අධිරාජිණියට පමණක් දෙවෙනි අධිරාජිණියක් බවට ඩොංගේ සොහොයුරිය පත්කළේය. මෙනිසා ඩොංගේ පවුලේ සාමාජිකයින් තිදෙනාම මාළිගාවේ නැවතුණි. ඩොංගේ පියා වූ ඩොං ගොං(Dong Gong)ව මාළිගාවේ සැපයුම් අමාත්‍ය බවට පත්කර වැඩබලන වංශාධිපතියෙක් බවට පත්කළේය.
පූර්ණ රාජකීය ඇඳුමින් සිටින
අයි අධිරාජයාගේ සිතුවමක්,
ඔහු විසින් කපා ඉවත් කරන
ලද්දේ මේ ඇඳුමේ කමිස අතයි.

ඉන් නොනැවතුණු අයි, වෙයියාං මාළිගාවට පිටතින් සියලු සැපපහසුකම් සහිත නිවහනක් ඩොං සඳහා ඉදිකරන්නැයි රාජකීය ගෘහනිර්මාණ ශිල්පියාට නියෝග කළේය. එම නිවහන තවත් මාළිගාවක් තරම් විශාල වූ බවයි චීන ඉතිහාසයේ සඳහන් වන්නේ. අයි අධිරාජයා රාජකීය භාණ්ඩාගාරයේ තිබූ හොඳම අවිආයුධ සහ වටිනාම මුතු මැණික් ඩොංට පිරිනැමුවේය. එහෙත් අගනුවර ආරක්ෂක ප්‍රධානියා වූ වූජියාං ලොං(Wujiang Long) සහ මාළිගාවේ ආරක්ෂක ප්‍රධානියා වූ  සෙං චොං(Zheng Chong) , ඩොංට භාණ්ඩාගාරයේ තිබූ වටිනා අවිආයුධ දීම ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන්ව එම තනතුරුවලින් නෙරපා හැරුණි.

රාජකීය සොහොන් පිටියේ ඩොංගේ අනාගත සොහොන ඉදිකළ අයි තමාගේ අනාගත සොහොනද ඒ ආසන්නයෙන්ම ඉදිකළේය.එහෙත් බොහෝ රාජ්‍ය නිලධාරීන් ඩොංග්ට උවමනාවටත් වඩා මෙවන් දේ හිමිවීම ගැන ඉවසූයේ නැත. ඔවුහු මෙය නවත්වන ලෙස අයි අධිරාජයාට බල කළහ. ඔහුගේ ඥාතීන් ඔහුට බොහෝ දොස් පැවරුවේය. එහෙත් ඔහු ඒවා ගණනකට ගත්තේ නැත. එහෙත් තම ආදරවන්තයාට එරෙහි වීමට යාම නිසා සමහර රාජ්‍ය නිලධාරීන්ට අයි විසින් දඬුවම් පැමිණවීය . මෙනිසා ඩොං සියාංට රජ මැදුර තුළ සතුරන් රැසක් ඇතිවිය.
චීන මැටි බඳුනක අයි(වමේ) සහ ඩොං සිතුවම් කර ඇති අයුරු

මේ වනවිට අයි අධිරාජයාට ඩොංව වංශාධිපතියෙකුගේ තනතුරට උසස්කිරීමට උවමනා වුණු නමුත් ඒ සඳහා සුදුසු හේතුවක් සොයාගත නොහැකිව සිටියේය. මේ අතර ඩොංපිං හි කුමරු වූ ලියු යුන්(Liu Yun) මායාකර්ම කරමින් අයිට සාපකරන බවට සිෆු ගොං(Xifu Gong), සන් චොං(Sun Chong) සහ සොං හොං(Song Hong) තොරතුරු ලබාදුන්නේය. එනිසා යුන්ව එම තනතුරින් පහකර සොං හොං නොව ඩොං සහ ඉතිරි දෙදෙනා මේ තොරතුරු ලබාදුන්නේ යැයි කියමින් අයි ඔවුන් තිදෙනාව වැඩබලන වංශාධිපති තනතුරු වලට පත්කළේය.අවුරුද්දකට පසු ඩොංව වංශාධිපතියෙක් බවට පත්කිරීමට අයි සැරසුණේය.එහෙත් මහ ඇමති වූ වාං ජියා(Wang Jia)ට ඩොංව වංශාධිපතියෙක් බවට පත්කිරීම වැළක්වීමට කිහිපවරක්ම උත්සාහ කිරීම නිසා සිරගතවන්නට සිදුවිය. ඩොංට හිමිවුණේ ගෝආන් හි වංශාධිපති(Marquess of Gao'an) තනතුරයි.

ක්‍රි.පූ 2 වසරේදී අයිගේ මිත්තණිය වූ ෆූ අධිරාජිණිය මිය ගියාය. වාං ජියා, ඩොංගේ බලතල තවත් වැඩිකිරීමට දැඩිලෙස විරුද්ධ වූ අතර එනිසා අයි ඔහුට ව්‍යාජ අපරාධ චෝදනා ඉදිරිපත්කර ඔහුට 'සියදිවි නසාගන්නට බලකිරීමේ දඬුවම' දුන්නේය. සියදිවි නසාගැනීමට බලකිරීම එකළ මරණ දඬුවම ලබාදීමේ ක්‍රමයක් වූ අතර එමනින් වැරදිකරු සියදිවිනසා නොගන්නේ නම් ඔහුට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට වඩා දරුණු දඬුවමක් දෙනු ලැබිණි. බොහෝවිට මෙහිදී වැරදිකරු සියදිවි හානිකර ගන්නේ වස පානය කිරීමෙනි.

මෙනිසා මහ ඇමති සියදිවි නසාගත් අතර මින් මහත් කම්පාවට පත් අයිගේ මාමා වූ චීන හමුදාවේ සේනාධිපති ඩිං මිං(Ding Ming)ව ඔහුගේ තනතුරින් ඉල්ලා අස්විය. ඩිං මිංගේ අනුප්‍රාප්තිකයා වූ වෙයි ෂැං(Wei Shang) එම වසරේම මියගියේය. එනිසා අයි අධිරාජයා එවිට විසිදෙහැවිරිදි වූ ඩොංව හමුදාවේ සේනාධිපති තනතුරට පත්කළේය.

මෙතරම් උසස් තනතුරක් ලැබුණද ඩොං සේනාධිපති තනතුරේ වැදගත් කටයුතු පවා නොකරමින්, අයි අධිරාජයා සමඟ එක්ව දවසේ සෑම මොහොතක්ම මාළිගාවේ ගතකළේය.  මේකාලයේම ඩොංගේ පියා තවත් ගෞරවනීය තනතුරකට උසස් කරන ලද අතර ඩොංගේ බාල සොහොයුරා වූ ඩොං කුවන්සින්(Dong Kuanxin) ඩොං සියාංගෙන් හිස්වූ රාජකීය අශ්ව කටයුතු අධිකාරී තනතුරට පත්කෙරුණි. ඩොංගේ වංශයේ වූ බොහොමයක් සාමාජිකයින්වද රාජ්‍ය සේවක සහ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු වලට පත්කෙරුණි.

අයි අධිරාජයා කලක් තිස්සේම කායික රෝගයකින් පීඩා වින්දේය. ක්‍රි.පූ 1 වසරේ ග්‍රීස්ම සෘතුවේදී ඔහුගේ එම රෝග තත්ත්වය උත්සන්න අතට පත්විය. තම අවසානය ළඟා වී ඇති බව අයි තේරුම් ගත්තේය. මරණාසන්නව රාජකීය සයනයේ සිටි ඔහු චීනයේ මීළඟ අධිරාජයා ලෙස තම පෙම්වතා වූ ඩොං සියාංට නම් කළේය. ඔහුට බලය ලබාගැනීමට චීන රාජකීය මුද්‍රාව පිරිනැමුවේය. එහෙත් රාජකීය උපදේශකවරු එය ප්‍රතික්ෂේප කළහ. කෙසේ වෙතත් අවසානයේ අයි අධිරාජයා මිය ගියේය. මියයන විට වයස අවුරුදු විසිහයක් තරම් තරුණ වියේ පසුවූ ඔහුට දරුවන් කිසිවෙක් නොසිටියේය.

රාජකීය මුද්‍රාව
 මීළඟට අධිරාජයා වීමට තරම් බලයක් තිබුණේ රාජ සභාවේ බලවත්ම නිලධාරියා වූ සේනාධිපති ඩොං සියාංටය. එහෙත් ඔහු අයිගේ මරණය නිසා තම ආදරය අහිමිවීමෙන් බලවත් මානසික ඇදවැටීමකට ලක්ව සිටියේය. මේ අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ වාං අධිරාජිණිය වෙයියාං මන්දිරයට පැමිණ රාජකීය මුද්‍රාව අත්කරගත්තාය.  ඈ ඩොංව කැඳවූ නමුත් ඉන් විමතියට පත් ඩොංට කළ හැකි දෙයක් නොවීය. රාජකීය මුද්‍රාව ඇය සතුවූ බැවින් බලයද ඈ සතු විය. තම බෑනා වූ වාං මාං මාළිගාවට කැඳවූ ඇය ඩොං සතුවූ සේනාධිපති තනතුර වාංට පිරිනැමුවාය.

ඉන්පසු වාං මාං මාළිගාවේ ලේකම් ලවා ඩොං, අයි අධිරාජයා අසනීප තත්ත්වයේ සිටින විට ඔහු  හමුවට නොපැමිණියේ යැයි කියමින් ඩොංට විරුද්ධව  දෝෂාරෝපණ ප්‍රකාශයක් ලබා ගත්තේය. ඩොංට මාළිගාවට පැමිණීම තහනම් කරන ලද අතර ඔහුට සහ ඇගේ බිරිඳට බලකර සියදිවි නසාගැනීමේ දඬුවම ලැබිණි. එදින රාත්‍රියේ ඩොං සහ ඔහුගේ බිරිඳ සියදිවි හානිකර ගත් අතර ඔවුන්ව ඉක්මනින් භූමදානය කෙරිණි. වාං මාං විසින් ඔහු මියගියා දැයි සැකහැර දැනගැනීමට මිනිය නැවත ගොඩගෙන සිරමැදිරියක නැවත භූමදානය කළේය. ඩොං වංශයේ සියලු සාමාජිකයින් රටින් පිටුවහල් කර ඔවුන්ගේ සියලු දේපල රාජසන්තක කෙරුණි.

අයි අධිරාජයා සමඟ වාං මාංගේ තිබූ එදිරිවාදිකම් හේතුවෙන් අයි අධිරාජයාගේ බිරිඳ වූ  සියාඕයි අධිරාජිණියව රාජකීය තත්ත්වයෙන් පහ කරන ලද අතර ඇයට තම සැමියාගේ සොහොන රැකබලාගැනීමට නියෝග කෙරුණි. එහෙත් පසුදින ඇයටද සියදිවි නසා ගැනීමට බලකිරීමේ දඬුවම නියම වීම නිසා සියදිවි නසාගන්නට සිදු විය.
අයි අධිරාජයාගේ සහ ඩොං සියාංගේ සොහොන වර්තමානයේදී..

පසුව අයිගේ ඥාති සොයුරා වූ නව හැවිරිදි ජිසි කුමරු පිං අධිරාජයා(Emperor Ping)ලෙස රාජ්‍යත්වයට පත්වුවත් වාං මාං ඔහුට වස දී මරා ක්‍රි.ව. 9දී අධිරාජ්‍යත්වයට පත්විය. එහෙත් ඔහුගේ පාලනයට විරුද්ධව ක්‍රි.ව. 23දී ඇතිවූ කැරැල්ලෙන් වාං මාං මරාදමනු ලැබූ අතර චීනයේ නව හන් රාජ වංශයක පාලනය ඇරඹිණි.

වෙයියාං මන්දිරය තිබූ තැන අද.

මේ පෙම්පුවත සිදුවූ වෙයියාං මන්දිරය අද කුඩා පස් ගොඩැල්ලකි. චාං අන් අගනුවරද නටබුන් ගොඩකි. එහෙත් අයි අධිරාජයා සහ ඩොං සියාං අතර ප්‍රේමය ඇතිවීමෙන් පසු එදා සිට අද දක්වාම චීනයේ පිරිමි අතර සමරිසි ප්‍රේමය හඳුන්වන්නේ 'කැපූ කමිස අතේ ප්‍රේමය'(Passion of the cut sleeve) ලෙසය. එය චීන මැන්ඩරින් භාෂාවෙන් මෙලෙස ලියැවේ.


 断袖之癖

මූලාශ්‍ර : http://en.wikipedia.org/wiki/Emperor_Ai_of_Han
            http://en.wikipedia.org/wiki/Dong_Xian