Thursday, May 31, 2012

අසම්මත ප්‍රේමයේ කවි සිත්තම.......

කුසුම් නොපතන බඹර යුවලට
තෙරක් නොපෙනෙන නිල් අහස යට
ඉගිළ යන්නට තැනක් නොමැතිව
බලා ඉන්නේ කදුළු ගං තෙර

යුග පියාපත් හකුළුවා ගෙන
තැවුල් සගවා පෙම් සිතුම් යට
තුඩින් තුඩ ගෙන ලොවට රහසින
සිනහ කඳුලක් නඟත් නෙතු අග

කුසුම් යායේ බමන බඹරුන් 
අසම්මතයට නඟන ගැරහුම්
යදම් වී ඒ බඹර පා යුග
බැඳ දමා ඇත රුදුරු පොළවට

නමුත් පෙම් සිත් යදම් ලන්නට
නොහැකි බව උන් නොදන්නේ වෙද
දෙහද බැඳී පෙම උතුම් වන බව
නොපිළිගන්නේ කිම ද උන් අද

පියා විදහා ඉගිළ යන්නට
හැකි දිනක් මතු පැමිණෙනා බව
පතා ඒ පෙම්වත් බිඟුන් යුග
පෙමින් සැනසෙත් රහස් කුටියක 

 මුහුණු පොතේ පලවූ ඡායාරූපයකින් උපුටා ගැනිණි.

Saturday, May 19, 2012

ඔබ සමලිංගිකත්වයට විරුද්ධ වන්නේ ඇයි.? ඔබ ඉදිරිපත් කරන තර්ක..


1.සමලිංගිකයින් යනු මානසික රෝගිහු වෙති.
නැත. නූතන මනෝ විද්‍යාව සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස නොසලකයි. සමලිංගිකයින් වෙත එල්ලවෙන අධික නින්දා අපහාස, පවුලෙන්, හිතමිතුරන්ගෙන් වන කොන්කිරීම්, නිශ්චිත සහකරුවෙකු සොයාගත නොහැකිවීම, තම හැගීම් පවසා ගැනීමට කෙනෙක් නැතිවීම ආදී කරුණු නිසා ඔවුහු අධික මානසික පීඩනයට සහ මානසික ආතතියට පත්වෙති. එනිසා ඔවුහු විශාදය, කාංසාව වැනි මානසික රෝගවලට ලක්වෙති.

2. සමලිංගිකයින් එකිනෙකාට ආදරය නොකරති. ඔවුහු ලිංගික තෘප්තිය පමණක් සොයායති.
මෙසේ වන්නේ එක්තරා කොටසකින් පමණි.සමහර පිරිමි ගණිකාවන් සොයායන්නා සේ සමහර සමලිංගිකයින් එසේ ලිංගික තෘප්තිය සොයායති. මෙය වැඩිපුරම සිදුවන්නේ ගැහැණු, පිරිමි දෙපාර්ශවය කෙරේම ලිංගික හැඟීම් ඇතිවෙන ද්විලිංගිකයින් අතරිනි. ඇත්තෙන්ම ගැහැණු- පිරිමි ආදරය කරනවා මෙන්ම සමලිංගිකයින්ද තම සහකරුවාට ආදරය කරති. ආදරයේ කිසිදු ආකාරයක වෙනස්කමක් නැත.ඔවුන්ද තම සහකරුවා සමග මුළු ජීවිත කාලයම පෙමින් බැදී ජීවිත්වීමට ආශාකරති.ඔබ Brokeback Mountain(2005), Maurice(1987) වැනි චිත්‍රපටියක් නැරඹුවානම් සමලිංගික ප්‍රේමය පිළිබඳ ඔබ තුළ ඇති අදහස් වෙනස් වනවා ඇත.

3.සමලිංගිකත්වය තමන්ගේ කැමැත්ත මත සිදුකරන තෝරාගැනීමකි. අවශ්‍ය නම් එයින් ඉවත්විය හැක.
සමලිංගිකත්වයට නිශ්චිත හේතුවක් අද දක්වාම විද්‍යාඥයින් අතින් සොයාගෙන නැත. මන්ද මෙය තමන්ගේ සිත තුල ඇතිවන කැමැත්තක් නිසාවෙනි. මෙය මානසික රෝගයක් නොවන බැවින් ඊට ප්‍රතිකාරද නොමැත. ද්විලිංගිකයින්ට සමලිංගිකත්වයෙන් මිදිය හැකිමුත්, සමලිංගිකයින්ට එසේ කළ නොහැක. එසේ මිදීමට තැත්කිරීම තමන් අකමැති දෙයකට කැමතිවන්නට යනවාක් මෙන් පීඩාසහගත දෙයකි.

4. සමලිංගිකයෝ ළමා කාමාතුරයෝ වෙති.
මෙයද වැරදි මතයකි. සමහර පිරිමි බාල වයස්කාර දැරියන්ට අපචාර කරනවාසේ, සමහර සමලිංගිකයින් ළමා අපචාර සිදුකරති.එනිසා සියලු සමලිංගිකයින් ළමාකාමාතුරයෝ නොවෙතිකවුරුන් කළද ළමා අපචාරය අපරාධයක් බැවින් එයට නිසි දඬුවම් ලබාදියයුතුය.

5.සමලිංගිකත්වය නූතන සමාජයේ මෑතකදී ඇතිවූවකි. එය බටහිර සංස්කෘතියේ ලක්ෂණයකි.
 සමලිංගිකත්වය මිනිස් ශිෂ්ටාචාරයේ මුල් යුගයේ පටන්ම පැවති බවට සාක්ෂි ඇත. පුරාතන රෝමය, ග්රීසියඊජිප්තුව, චීනය, ජපානය, ඉරාකය, තායිලන්තය ආදී රටවල මෙය අතීතයේ සිට පැවති බවට ඕනෑ තරම් සාක්ෂි ඇත. එනිසා මෙය බටහිරන් ආවක් නොවේ. සමලිංගිකයින්ට සමතැන ලබාගැනීමේ පෙරමුණු ඇතිවුනේ බටහිර රටවලිනි. එනිසා මෙය බටහිරින් ආවක් ලෙස සමාජයට පෙනී ඇත.මෙය අතීතයේ බටහිර තහනමට ලක්ව පැවැති දෙයකි.

6. සමලිංගිකත්වය සොබාදහමට විරුද්ධ දෙයකි.
විද්‍යාඥයින් විසින් දැනට අලියා, වඳූරා, සිංහයාඩොල්පින්, ආදි ක්ෂීරපායින් පෙන්ගුයින්, පරවි, උකුස්සා වැනි පක්ෂි ආදි සත්ත්ව විශේෂ ගණනාවක සමලිංගික හැසිරීම් වාර්තාකර ඇත. එනිසා මෙය මිනිසුන් අතර පමණක් පවතින දෙයක් නොවේ.

7.සමලිංගික ක්‍රියාවක යෙදීම පාපයකි.
මෙරට ප්‍රධාන ආගම වන බුද්ධාගම ඇසුරින් මෙය විමසා බලමු
බුදුදහමේ ගිහියන් සඳහා ඇති පංචසීලයේ තෙවන ශික්ෂාපදයේ දක්වා ඇත්තේ කාම මිථ්‍යාචාරයේ යෙදීමෙන් වළකින ලෙසයි.මෙහි මිථ්‍යාචාර යනු කුමක්දැයි පැහැදිලිව අර්ථදක්වා නැහැ. අනුව නුවර යුගයේ පැවති බහු පුරුෂ විවාහය, රජ කාලයේ පැවැති අන්තඃපුර ආදිය පාප ක්‍රියා නොවේ. මන්ද එහිදී කිසිවෙකුටත් බොරුවක්, වංචාවක් සිදුනොවන බැවිනි. නමුත් අද සමාජයේ මේවා පිළිකුලෙන් හෙලා දකියි.
ගිහියන්ට සමලිංගික ක්‍රියාවේ නොයෙදෙන ලෙස බුදු දහමේ සදහන්ව නැහැ.මේ අනුව වැඩිහිටි ඔබ සමලිංගික ක්‍රියාවක යෙදුන හොත් එය පාපයක් වන්නේ.දැනටම එක් පුද්ගලයෙකු සමග සමලිංගික සබදතාවක් පවත්වන ගමන් ඔහුට\ඇයට හොරෙන් වංචාකරමින් තවත් පුද්ගලයෙකු සමග ලිංගික සබදතාවක් පැවැත්වුවහොත් පමණයි.

8.සමලිංගිකත්වය නිසා සමාජය පරිහානිය කරා ගමන් කරයි.
සමලිංගිකත්වය නීතිගත කළත් නැතත් සමාජයේ කවරකුවත් බලෙන් සමලිංගිකයකු කළ නොහැක. එයට යොමුවන්නේ ඊට කැමත්ත ඇති පුද්ගලයින් පමණී. එනිසා සමලිංගිකත්වය පැතිරවිය නොහැක. මඳක් සිතා බලන්න. ඔබ අකමැති දෙයක් කිරීමට ඔබව බලෙන් එයට යොමුකළ හැකිද?. පර්යේෂණ අනුව සමාජයෙන් සියයට 5ක් සමලිංගිකයෝ වෙතිඑනිසා සමාජයේ ඉදිරි ගමනට එය බාධාවක් නොවේ. අලුතින් දරුවන් බිහිවීමේ අඩුවක් ඇති නොවේ.

9.සමලිංගිකත්වය ඒඩ්ස් ඇතුළු ලිංගික රෝග ව්‍යාප්තියට රුකුලකි
මෙය තමන්ගේ හැසිරීම පිළිබඳ ප්‍රශ්නයකි. සමලිංගික නොව වෙනත් ඕනෑම ආකාරයක ලිංගික ක්‍රියාවකින් ලිංගික රෝග බෝවිය හැක. තමන්  විශ්වාසවන්ත එක් ලිංගික සහකරුවෙකුට පමණක් සීමාවනවා නම් සමලිංගිකත්වය හෝ වෙනත් ඕනෑම ලිංගිකත්වයක් ප්‍රශ්නයක් නොවේ.

10.සමලිංගිකයින්ට දරුවන් බිහිකල නොහැකි බැවින් ඔවුහු අවාසනාවන්ත ජීවිත ගතකරති.
සමලිංගික යුවලක් ජීවත්වන්නේ වෙනත් ඕනෑම යුවලක් මෙන් ආදරයේ බැදීමෙනි. විෂමලිංගික ඔබට එය වටහා ගැනීම අපහසු ඇති. එහෙත් එවන් ආදරයක් ඇත්තෙන්ම පවතී. එය දන්නේ සමලිංගිකයින්ම පමණි.

*********************************************************************************
මඳක් සිතාබලන්න. ඔබ සමලිංගිකත්වයට විරුද්ධ වන්නේ ඔබට එය කෙරේ පිළිකුලක් ඇතිවන නිසා නේද? .
ඔබ කැමැති විරුද්ධ ලිංගිකයන්ට වුවත්. මම කැමති මගේ ලිංගයේම අයටයි. මම එම පුද්ගලයාට ආදරෙයි. එම පුද්ගලයත් මට ආදරේනම්, නිසා කාටවත් කරදරයක් නැත්නම්, අපේ ආදරයේ ඇති වරද කුමක්ද? ආදරය කිරීම වැරැද්දක්ද?

ලෝකයේ පැවතිය යුත්තේ ඔබ කැමැති දේ පමණක්ද? ඔබ අකමැති දේවල් මේ ලෝකයේ පැවතිය යුතු නැතිද?

ලෝකයේ පැවැතිය යුත්තේ ඔබේ ජාතිය, ඔබේ ආගම, ඔබේ සංස්කෘතිය, ඔබේ දේශපාලන මතය ඔබ කැමති කෑම,බීම, ඇදූම් පැලදුම් පමණක්ද? ඔබට ඔබ අකමැති අනික් සියල්ල පිළිකුල් නේද?

බහුතරය ඔබ වුවත් සුළුතරයට මේ ලෝකයේ ඉඩක් නැතිද?

අනික් කරුණු කෙසේවෙතත් ආදරය කියන උත්තරිතර හැගීමටවත් ඉඩ දෙන්න.
ඔබට ඔබේ ආදරය අහිමි වීමෙන් ඇතිවන වේදනාවම මටත් එලෙසම දැනේ.

Friday, May 11, 2012

මඳක් සිතා බලන්න.............





මා ඔහු දුටුවිගසම මට ඇති වුනේ කියාගන්න බැරි අමුතුම හැගීමක්. පුදුම ආදරයක්. ඒත් මම පිරිමියෙක්. ඔහුත් පිරිමියෙක්. ලෝක සම්මතය “පිරිමියා ආදරය කළ යුත්තේ ගැහැණියටයි”. එහෙනම් ඇයි මේ?

මං නපුංසකයෙක්ද? නැහැ. මං තුළ ගැහැනූ ලක්ෂණ කිසිවක් නැහැ. උපන්දා සිට දුටුවේ පිරිමියා ගැහැණියට ආලය කිරීමයි. මීට පෙර මා කිසිදු ගැහැණියකට ආදරය කර නැහැ. සිත යන්නේම පිරිමින්ටයි. එහෙනම් මම කවුද?
මම සමලිංගිකයෙක්. ඔවු මම සමලිංගිකයෙක්. සමාජයේ අපමණ පිළිකුළට ,නින්දාවට, කොන්කිරීමට ලක් වන්නෙක්. ඇයි  එහෙම වෙලා තියෙන්නෙ?
ඒ තත්වය ඇතිකරගෙන තිබෙන්නෙ සමලිංගිකයින් වන අපිමයි කියලයි මට හිතෙන්නෙ.

අපි කීයෙන් කී දෙනාද අප තුළ ඇතිවන ආදරයට මුල් තැන දෙන්නෙ. හුගක් දෙනා සොයන්නෙ පැයක දෙකක සරාගික තෘප්තිය පමණයි. ඊයෙ එක්කෙනෙක්, අද වෙනත් කෙනෙක්, හෙට තවත් කෙනෙක්. ඒත් අපි මිනිස්සු නේද ? සත්තු වගේ එහෙම හැසිරෙන්න ඕනෙ නැහැ නේද? මෙහෙම කරන්නෙ හුගක්ම ද්වීලිංගික කට්ටියයි.පුළුවන් තරම් සමලිංගික සබඳතා පවත්වලා අන්තිමේදි ගැහැණියක්ව විවාහ කරගන්නවා.

 මම එයාලගෙන් ඉල්ලන්නෙ  එක්කෙනෙක් එක්ක විතරක් සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න කියලයි. මොකද මිනිස්සු වශයෙන් අපි මුල් තැන දෙන්න ඕනෙ ආදරයටයි.ඒ ආදරේට පුළුවන් අපිව හැමදාමත් සතුටින් තියන්න.ආදරේට මොනතරම් කරදර බාධක ආවත් ඒ වෙනුවෙන් පෙනීසිටින්න. අපි ගැහැණු-පිරිමි ආදරය වගේ හැමදාමත් එකිනෙකා තේරුම් අරගෙන ජීවිතකාලෙටම ඉන්න ආදරෙන් බැඳිලා ඉන්නවානම් මේ තියෙන සමාජ අප්‍රසාදය යම් තරමකට හෝ අඩුකරගන්න පුළුවන්. 


කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙනවා කියන්නේ සුළු දෙයක් නොවෙයි. එය ඔබේ ආත්මය තවත් කෙනෙක් සමඟ බෙදාගැනීමක්. ඔබේ සිරුර, සුවඳ, හදගැස්ම, සුසුම් පොද සියල්ලක්ම ඔබ බෙදා ගන්නවා. මිනිසුන් සතුන්ගෙන් වෙනස් වන ප්‍රධානතම කරුණ තමයි ඔබ ඔබේ ලිංගික සහකරුවාට ආදරය කරමින් මුළු ජීවිතකාලයම ඒ පුද්ගලයා සමඟ ජීවත් වීම. එහෙම කරන්න බැරිනම් ඔබත් තිරිසනෙක් වගෙයි. තිරිසන්නුත් එක් සහකරුවෙකුට සීමා නොවී මුළු ජීවිත කාලය පුරාම සතුන් රාශියක් සමඟ ලිංගිකව හැසිරෙනවා.මිනිස්සු ලෙස අපිත් අපේ හැඟීම් පාලනය කර ගත යුතුයි. නැතිනම් අපිත් තිරිසන්නු වගෙයි.

සමලිංගිකයින් විදිහට අපිත් එකිනෙකාට ආදරය කරමින් ජීවත් වෙමු. මේ කාමාශාවන් පසුපස දිවීම නවත්වමු.
එක් සහකරුවෙකුට සීමාවෙමු.ඒ වෙනුවෙන් කැපවෙමු.
නැතිනම් අන්තිමේදි අපිට ජීවිතේ දුකට සැපට කවුද ඉතුරුවෙන්නෙ?




සමලිංගිකයින් යනු කවුරුන්දැයි ඔබ දන්නවාද?


මේ ලෝකයේ සිටිනා සියලුම මිනිසුන් තමන්ගේ ලිංගික කැමැත්ත අනුව කොටස් තුනකට බෙදියහැක.
1.විෂමලිංගික (heterosexual) - විරුද්ධ ලිංගිකයින් කෙරේ හැගීම් ඇතිවන පුද්ගලයින්.සමාජයේ බහුතරය , එනම් සියයට 95ක් මෙම කොටසට අයත් වේ.
2.ද්විලිංගික(bisexual)- විරුද්ධ ලිංගිකයින් සහ සමලිංගික දෙපාර්ශවය කෙරේම හැගීම් ඇතිවන පුද්ගලයින්.
3.සමලිංගික(homosexual) - සමලිංගිකයින් කෙරේ හැගීම් ඇතිවන පුද්ගලයින්.
ඔවුන්ද කොටස් දෙකකට වර්ග කළ හැක.
පුරුෂ සමලිංගික(gay) - පිරිමින් කෙරේ හැගීම් ඇතිවන පිරිමි. මොවුන්ගේ පෙනුමද අනික් පිරිමින් වැනිය.
ස්ත්‍රී සමලිංගික(lesbian) - ගැහැණුන් කෙරේ හැගීම් ඇතිවන ගැහැණු. මොවුන්ගේ පෙනුමද අනික් ගැහැණුන් වැනිය.
මෙයට අමතරව පාරලිංගික(transgender) යනුවෙන් තවත් කාණ්ඩයක් ඇති අතර, මොවුන් තම සිරුරේ විරුද්ධ ලිංගිකයින්ගේ හැසිරීම් රටාව දක්වයි. ගැහැනු මෙන් හැසිරෙන පිරිමි, පිරිමි මෙන් හැසිරෙන ගැහැනු අයත් වන්නේ මේ ගනයටය.  මොවුන් ඉහත කාණ්ඩ තුනෙන් ඕනම් කාණ්ඩයක පුද්ගලයින් සේ හැසිරිය හැක.