Tuesday, August 28, 2012

රජෙක් වහලෙකුගේ වහලෙක් බවට පත්කළ ප්‍රේමය



ගස්නිහි මහමුද්( Mahmúd of Ghazni) එවක ඉරානය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ආදී රටවල පැතිරී තිබුණු ගස්නාවිඩ් අධිරාජ්‍යය(Ghaznavid Empire) පාලනය කළ විශිෂ්ටතම පාලකයා වේ. ඔහු ඉස්ලාමයේ නාමයෙන් ක්‍රි.ව. 997 සිට 1030 දක්වා වූ ඔහුගේ පාලන කාලය තුළ නැගෙනහිර ඉරානය සහ වයඹදිග ඉන්දියාවද යටත් කළේය. ගස්නා(Ghazna) නගරය ධනවත් අගනගරයක් බවට පත්කළ ඔහු සුල්තාන් නාමය භාවිතා කළ පළමු පාලකයාද වේ. ඔහු විසින් කළ යුද්ධ, හින්දු කෝවිල් සහ නගර විනාශ කිරීම්, මහා ධන කොල්ලකෑම්, ප්‍රදේශ බලෙන් ඉස්ලාම්කරණය කිරීම් මෙන්ම ඔහුගේ ප්‍රේමයද එකලෙස ප්‍රසිද්ධය.
සුල්තාන් මහමුද් සහ හමුදාව සරන්ජ් බලකොටුවට පහරදීම

රාජ්‍යයේ අනාගතය වෙනුවෙන් කෞසාරි ජාහන්(Kausari Jahan) නම් කාන්තාවක් හා විවාහ වී මොහොමඩ්(Mohammad) සහ මසූඩ්(Ma'sud) නමින් නිවුන් දරුවන් ලැබුවද ඔහුගේ හදපිරි ප්‍රේමය තිබුණේ තුර්කි ජාතික වහලෙකු වූ මලික් අයාස්(Malik Áyáz) ටය. රජුගේ ප්‍රේමය නිසාම මලික් රාජ්‍ය නිලධාරීවරයකුගේ තනතුරකට උසස්වී හමුදාවේ සේනාධිපති තනතුරක්ද හෙබවීය. රජු තම අවසාන කාලයේ රාජ්‍ය කටයුතු පවා නොසලකා හරිමින් මලික් අයාස් ඇසුරේම ගතකළ බැව් කියැවේ. ගස්නිහි මහමුද් සහ මලික් අයාස් නම් වහලා අතරවූ ප්‍රේමය පසුව ඉස්ලාම් පුරාවෘත්තයක් බවට පත්විය. ආදරයේ බලය නිසාම තම වහලාට වහලෙක් බවට පත්වූ කදිම උදාහරණයක් ලෙස කවීහු මෙම ආදරය වර්ණනා කළහ.
මේ ප්‍රේමය පිළිබඳ වූ සාහිත්‍ය කතා සහ ජනකතා රැසකි.

වඩා බලවතා කවුද?

දිනක් සුල්තාන් මහමුද් තමන්ට වඩා ශ්‍රේෂ්ඨ බලසම්පන්න රජෙක් ගැන දන්නවාදැයි අයාස්ගෙන් ඇසීය. "ඔව්, මම ඔබට වඩා ශ්‍රේෂ්ඨ රජෙක්" අයාස් පිළිතුරු දුන්නේය. රජු එයට කරුණු විමසුවේය."මන්දයත්, ඔබ රජු වුවත් ඔබව පාලනය කරන්නේ ඔබේ හදවතයි, ඔබේ හදවතේ රජු මේ වහලා" යැයි අයාස් පැවසුවේය.

අයාස්ගේ සරලබව
රතු ඇඳුමින් සැරසුණු මහමුද් රජුට
පසුපසින් සිටින්නේ අයාස්ය,
ටෙහෙරාන් කලා කෞතුකාගාරය

දිනක් කෙනෙක් මහමුද්ට දොස් පැවරුවේය.

"අයාස්ගේ එතරම් සුන්දරබවක් නැහැ.පුදුමයි!.සුවඳක් හෝ පැහැයක් නැති රෝසමලක චමත්කාරය නිසා නයිටිංගේල් කුරුල්ලෙකුගේ අනුරාගය ඇතිවනහැටි"
"Áyáz has no (great) beauty. Oh wonder! The rose, which has neither colour nor perfume-The nightingale's passion for it is wonderful.”

කෙනෙක් මෙය මහමුද්ට කීවේය.වේදනාවට පත්වුණු ඔහු එයට පිළිතුරු දුන්නේය.
"මගේ ආදරය ඇත්තේ ඔහුගේ ගතිගුණවලටයි. ඔහුගේ ආරෝහ සම්පත්තියට හා උසට නොවෙයි"
“Oh sir! my love is for his disposition, Not, for his stature, and good height.”

අයාස් සහ විසිරුණු මුතු

දිනක් රජු හා පිරිවර ගමන් කරමින් සිටින විට කඳු කපොල්ලකදී ඔටුවකුගේ පිටින් මුතු ආභරණයක් වැටී බිඳිගියේය. පහළට විසිරුණු මුතු ගෙන ඒමට රජු සංඥා කළේය, තම අශ්වයාද සමඟ වේගයෙන් ඒ පසුපස ගමන්කලේය. අශ්වයින් පිට නැගුණු ඔහුගේ පිරිවර රජු පසුකරගොස් මුතු පසුපස හඹා ගියේය. එහෙත් අයාස් පමණක් රජු ළඟ සිටියේය. එය දුටු මහමුද් ඔබ හමාගොස් ගත්තේ මොනවාදැයි ඇසීය. "කිසිවක් නැහැ, මා ඔබ පසුපස ආවා, ධනය වෙනුවෙන් මගේ සේවය අත්හරින්නේ නැහැ"අයාස් පැවසුවේය.

අයාස් සහ හමායි කුරුල්ලාගේ සෙවනැල්ල

හමායි කුරුල්ලාගේ සෙවනැල්ල වාසනාව ගෙනඑන්නක් ලෙස ප්‍රකටව පැවතුණි. අනෙකුත් තුර්කි ආරක්ෂකයින් මේ කුරුල්ලාගේ සෙවනැල්ල පසුපස දුවද්දී අයාස්, රජුගේ සෙවනැල්ලේ සිටියේය. මෙය රජුගේ මහත් ප්‍රසාදයට හේතුවිය.

අයාස් සහ පිපිඥ්ඥා ගෙඩිය

දිනක් සුල්තාන් සහ අයාස් එක්ව වාඩිවී දිවා ආහාරය ගනිමින් සිටියහ. සුල්තාන් පිපිඥ්ඥා පෙත්තක් අයාස්ට දුන්නේය. අයාස් එය රසකරමින් කෑවේය. එයට පසු ඔහු තවත් පිපිඥ්ඥා පෙත්තක් අයාස්ට දුන් අතර ඔහුද එක් පෙත්තක් ගත්තේය. එහෙත් මහමුද් පිපිඥ්ඥා පෙත්ත හපනවාත් සමඟම අයාස් එය නීරසවූවාක් මෙන් ඉවත දමමින් කෙළ ගැසුවේය. තමන්ව රැවටීමට බොරුවට රසකරමින් කෑවා යැයි කියමින් රජු කේන්තියෙන් අයාස් දෙස බැලුවේය. අයාස් පිළිතුරු දුන්නේය." නැහැ මගේ සුල්තාන්. ඒක මට රසවත්. මට ඔබෙන් බොහෝ අපූරු දේවල් ලැබිලා තිබෙනවා, ඔබේ අතින් එන ඕනෑම දෙයක් මට රසවත්".

කොණ්ඩය කැපූ අයාස්

අයාස් ඉතා කඩවසම් පුද්ගලයකු නොවූ නමුදු කරුණාවන්ත ගතිගුණ, ඔලිව් පැහැ සම,  ආරෝහ පරිණාහයෙන් යුතු වීම, සිත්බඳිනා ඉරියව්, මනා සිහිබුද්ධීයෙන් යුතුවීම ආදි වෙනත් හොඳ ලක්ෂණ ඔහු සතු විය. මෙනිසා ඔහුට සියලු ගෞරව සහිත අමාත්‍ය ධූරයක් රජු විසින් පිරිනැමුවේය.
කොණ්ඩය කපන අයාස්

මහමුද් දේවභක්තියෙන් යුතු දෙවියන්ට බිය පුද්ගලයකු විය. එනිසා නීතියේ මාවතෙන් සහ රාජ ධර්මයෙන් එක් පියවරක් හෝ නොතැබීමට ඔහු අයාස්ට ඇති ආදරය සමඟ සටන් කළේය.කෙසේවෙතත් එක්දිනක මත්පැන් සාදයකදී ඔහු වයින්වලින් හා ආලයෙන් මත්වී අයාස්ගේ කොණ්ඩ කැරලි දෙස බැලුවේය. ඔහුට ඒවා පෙනුණේ ඇම්බ'ග්‍රිස්( තල්මසෙකුගේ බඩවැල්වල සෑදෙන සුවඳ වර්ගයක්)සඳෙන් වැගිරෙන්නාක් මෙනි, හයසින්ත් මැණික්වලින් හිරුගේ මුහුණ ඇඹරී ඇත්තාක් මෙනි,  ලෝහ මුදුවලින් එකිනෙකට යාකළ යුද සන්නාහයක් මෙනි, දම්වැලක පුරුක් මෙනි; සෑම කුඩා මුදුවකම හදවත් දහසක් සහ සෑම අගුලකම ආත්ම සියක්දහසක් ඔහුගේ මනසට පෙනුනේය. ඔහුගේ ආදරය විසින් මෙතෙක් කල් තිබූ ඔහුගේ සංයමය බිඳ දැමුවේය, ආදරවන්තයෙක් මෙන් ඔහු අයාස් ළඟට ගියේය. ඒත් "දෙවියන් විසින් ඔහුගේ නීති කඩකිරීම ඔබට තහනම් කර තිබෙනවා නේද?" යන නීතිය ඔහුගේ මනසට ආවේය."මහමුද්, පාපය සමඟ ආදරය පටලවා නොගන්න, සත්‍යය සමඟ අසත්‍යය පටලවා නොගන්න, ඒ අත්වැරැද්ද නිසා ඔබේ ආදරය ඔබට එරෙහිව සටන්කරාවි, එවිට ඔබ ආදරයේ පාරාදීසයෙන් වැටී පාප ලෝකයේ දුකට පත්වේවි." මේ සිතුවිලි ඔහුගේ මනසට ආවේය. තමන්ව පාලනය කරගැනීමට නොහැකිවේ යැයි බියවූ ඔහු පිහියක්ගෙන අයාස්ගේ කොණ්ඩ කැරලි කපන මෙන් ඉල්ලීමක් කළේය. අයාස් කීකරුව පිහිය ගෙන කොතනින් කැපිය යුතුදැයි ඇසුවේය.  මැදින් කපන්න්නැයි ඉල්ලූවිට අයාස් රජුගේ අණ පිළිපැද මැදින් කැපූ කෙස් රොද දෙකක් රජු ඉදිරියේ තැබුවේය.මේ ඉක්මන් කීකරුකම රජුගේ මහත් ආදරයට හේතුවුණු අතර මහමුද් රන් සහ මැණික් ගෙන අයාස්ට පිරිනැමුවේය. එහෙත් බීමත්කම නිසාම නින්දට වැටුණේය.

පසුදින අළුයම පිබිදුණු රජු සිංහාසනය වෙත යෑමට සැරසුණු විට ඔහු කළ දේ සිහියට නැගුණි. අයාස් කැඳවූ රජු කළ දෙය නිසා මහත් පසු තැවිල්ලට පත්විය. එවිට උන්සුරි(Unsuri) නම් කවියෙක්ගෙන් මෙයට කුමක් හෝ කියන්නැයි කීවිට ඔහු කවියක් කීවේය.

ශෝභන කෙනෙකුගේ කැරලි කැපීම ලජ්ජාවට කරුණක් වුවත්,
උදහස් වී දුකින්  සිටින්නේ ඇයි?
සතුටු වී ප්‍රීතිමත් වීමට වයින් ගෙනඑන්න
සයිප්‍රස් ගස කොටකර කැපුවත් හැඩය වෙනස් වී පෙනෙනවාද?

Though shame it be a fair one's curls to shear,
Why rise in wrath or sit in sorrow here?
Rather rejoice, make merry, call for wine;
When clipped the cypress doth most trim appear.

මහමුද් මින් සතුටු වී ඔහු රන් හා රිදී වස්තු කැඳවා ඒවා මුසුකර කවියාගේ උකුල ඉන් පිරවීය. පසුව ඇමතිවරු කැඳවා ඔහුගේ දුක තුනීකළ කවිය වෙනුවෙන් වයින් පානය කළේය

අයාස් කැඩපත ඉදිරියේ

අයාස්ගේ නිහතමානීබව ගැන කතා රැසකි. ඉන් එක් කතාවක අයාස් රාජකීය උදව් සඳහා නැගිටුණුවිට නිතරම වාගේ රහස් කුටියකට යයි. එහි ඔහු කලින් වහලෙකු ලෙස හැඳි ඇඳුම් පැළඳගෙන "අයාස්, තමන් කවුදැයි කියා අමතක කරන්න එපා" යැයි තමාටම කියා ගනියි.

අයාස් සහ ඔටුන්න
අයාස් රජු ඉදිරියේදී, 1472 දකුණු ඉරානයේදී
 Farid al- Din 'Attar ලියූ Six poems ග්‍රන්ථයෙනි

දිනක් සුල්තාන් මහමුද් තම ඔටුන්න අයාස්ට පිරිනැමුවේය. අනෙක් සියලු අමාත්‍යවරු එයට ඊර්ෂ්‍යාවෙන් සිටියහ. අයාස් කඳුළු සලන්නට පටන්ගත්තේය. මෙතරම් ධන සම්පත්තියක් ඉදිරියේ දුක්වන්නේ ඇයිදැයි කරුණු විමසූවිට, ඔහු මෙසේ කීවේය. " මට රජු එක්ක ඇරෙන්න කිසිවක් සමඟ කිසි දෙයක් කරන්න නැහැ. ඒත් මට ඕනෙ රජු තනියෙන් ඉන්නවා දකින්න. මට ඔටුන්න දීමෙන් ඔහුට ඕනෙ මා රාජ්‍යයේ කටයුතුවලට යොදවලා මගෙන් ඈත්වෙන්න. මෙය වෙන්වීමේ සිතිවිල්ලකින් මගේ හද පාරනවා".

අයාස් සහ මුතු ඇටය
මහමුද් රජු වංශවතුන් සමඟ රාජසභාවේදී

තමන්ගේ අයාස්ට ඇති ලැදියාව ගැන තම ඇමතිවරු සැක උපදවන බව සුල්තාන් දැනගත්තේය. මේවාට ප්‍රායෝගිකව පිළිතුරු සැපයීමට ඔහු ඉටාගත්තේය.අයාස් ඇතුළු සියලු ඇමතිවරු එක්රැස් කළ රජු තමන් සතුව පැවති විශාලතම මුතු ඇටය ගෙන ආවේය. ඔහු එය රවුමට හිඳගෙන සිටි ඇමතිවරු 56 දෙනා අතුරෙන් පළමු ප්‍රධානියාට දී එය කුමක්දැයි ඇසුවේය. ඔහු එය මහමුද් පමණක් සතු ලොව අන් කිසිදු තැනක දක්නට නොලැබෙන විශේෂ මුතු ඇටයක් යැයි කීවේය. රජු එය ගලකින් තලා විනාශකරන්නැයි කීවද මුතු ඇටයේ වටිනාකම නිසා එය තමාට කළ නොහැකිබවට ඇමතිවරයා නිදහසට කරුණු කීවේය.එවිට රජු ඔහුට කාලට් නම් ගෞරව වස්ත්‍රයක් පිරිනැමුවේය. මීළඟ ප්‍රධානියාට මුතු ඇටය දුන්නේය. මේ ක්‍රියාවලිය දිගටම සිදුවුණු අතර කලින් ප්‍රධානියාට ලැබුණු තෑග්ග ගැන සිතා සියලු ඇමතිවරු මුතු ඇටය විනාශ නොකිරීමට නිදහසට කරුණු කියූහ. අන්තිමේදී අයාස්ට වාරය ආවේය. ඔහු දෙවරක් නොසිතාම ගඩොලකින් ගසා මුතු ඇටය විනාශ කළේය.  මහමුද් සතුව පැවති මුතු ඇටය විනාශකිරීමේ 'පාපකාරී' ක්‍රියාව ගැන අනෙක් ඇමතිවරු එකිනෙකාට කතාකරන්නට පටන්ගත්හ. එවිට මහමුද් අයාස් දෙසට හැරී " ඔබට එරෙහිව කියන මේ දේවල්වල්ට ඔබ පිළිතුරු සැපයිය යුතුයි" යැයි කීවේය. අයාස් එවිට ඇමතිවරුන්ට මෙසේ කීවේය.
"ඔබ අතුරින් කිසිකෙනෙක් මුතු ඇටය බින්දේ නැත, ඔබ සියල්ල ඒක ඉහළින් අගය කළා. ඒත් ඔබ උතුමාණන්ගේ අණ කඩකළා.ගරු ඇමතිවරුනි, වඩා වටින්නේ මුතු ඇටයද රජුගේ අණද?  ඔබේ හදවතේ රජුට ආදරයක් තිබුණා නම් ඔබ මේ මුතු ඇටය මෙතරම් අගයන්නේ නැත.රජුගේ අණ මේ සියල්ලටම වඩා වටින්නේය"

මලික් අයාස්ගේ සොහොන
වර්ෂ 1021දී සුල්තාන් අයාස්ව ලාහෝර් නගරයේ පාලකයා බවට පත්කළේය. දිගු කාලයක් වැටලීමෙන් සහ දරුණු යුද්ධයකින් අල්ලාගන්නා ලද ලාහෝර් නගරය ඒවනවිට ගිනිබත්වී ජනශුන්‍ය වී තිබුණි. ලාහෝර් නුවර පළමු මුස්ලිම් පාලකයා ලෙස ඔහු  නැවත ගොඩනගා ජනාකීර්ණ නගරයක් බවට පත්කළේය. ලාහෝර් නුවර වරාය සහ වාසල් දොරටු ගොඩනගා එය සංස්කෘතික සහ අධ්‍යාපනික කේන්ද්‍රයක් බවට එය පත් කළේය.  මලික් අයාස්ගේ සොහොන අදද ලාහෝර් නගරයේ දැකගත හැකිය.

එවිට ඉස්ලාම් දහම එහි ප්‍රධාන ආගම බවට පත්වතිබුණත් කුරාණයේ සමලිංගික හැසිරීමට නිශ්චිත අර්ථදැක්වීමක් හෝ දඬුවමක් පණවා නොතිබිණි. එහෙත් සැදැහැවත් මුස්ලිම්වරුන් එය දෙවියන් අසතුටු කිරීමක් ලෙස එකල විශ්වාස කරන්නට ඇත. එහි ප්‍රතිඵලය වූයේ සමලිංගිකත්වයට පුරාණ මුස්ලිම් ලෝකය තුළ ඉඩ ලැබීමයි. මෙකල අරාබි කවි සාහිත්‍යය පුරාණ පර්සියන්වරු සතුව පැවති සමලිංගිකත්වය පැහැදිලිවම පෙන්වයි. පසුකාලීනව මෙයට එරෙහිව නීතිගෙන එනු ලැබුවේ ශරියා නීතිය මගිනි.

Tuesday, August 21, 2012

ආදරණීය නිමාලි වෙතටයි......


මේ කෙටි කතාව කලින් කියවපු අයත් ඇති. ඒත් ලියුමක් ලෙස ලියවෙන මේ කතාව කියෙව්වෙ නැති අය ඉන්නවා කියලා හිතාගෙනයි පළකරන්නේ. මේක ලංකාවේ පරිසරයක සිද්ධවෙන කතාවක්. මේ කතාව මම ඉස්සෙල්ලාම දැක්ක විදිහට පලවුනේ බූන්දි වෙබ් අඩවියේ කතන්දර බූන්දි කොටසේ. කතුවරයා ඉසුරු චාමර සෝමවීර. මේ කතාව පිළිබඳ සියලුම ගෞරව ඔහු සතුයි.

*********************************************************************************

2002. 2. 27

තෙරුවන් සරණයි ! 

ආදරණීය නිමාලි වෙතටයි, 

මට වැරදූනා. නිමාලි, මට ඔයාට ආදරණීය නිමාලි කියලා ලියන්න අයිතියක් නැහැ. ඔයා දන්නවා ඇතිනෙ දැන් මම රස්සාවට යන්නෙ නැහැ. මේ දවස්වල අත මිට හරි හිඟයි. ඒත් මං හොඳින් ඉන්නවා. ජීවිතේ කවදාවත්ම නොදැනිච්ච නිරෝගීකමක් දැන් මට දැනෙනවා. ඔයත් හොඳින් ඇති කියලා හිතනවා. මං මේ ලියන්නෙ ගිගුම්ගෙ බෝඩිමේ ඉඳන්. එදා හවස ඔයා ගෙදරින් ගිය ගමන්ම වගේ මාත් ගෙදරින් ආවා. දොරේ යතුර අර අඹ ගහ මුල තියන බෝගන්විලා පෝච්චිය යට ඇති. ඒ ආපු ගමන් තාමත් මම ගිගුම්ගෙ බෝඩිමේ.

අම්මලා; අපේ අම්මලා, ඔයගොල්ලන්ගෙ අම්මලා, හැමෝම මාව හොයනවා ඇති. ඒත් කරන්න දෙයක් නැහැ. මට තීරණේකට එන්න, හිත හදා ගන්න ටික දවසක් ගියා. ඒකයි මම හැංගිලා හිටියෙ.

ඉතිං.....? කියන්න ගොඩක් දේවල් තියනවා. ඒත් ගිගුම්ගෙ මේස ලාච්චුවෙ තියෙන්නෙ කොළ බොහොම පොඩ්ඩයි. පුළුවන් තරම් කෙටියෙන් මම ලියන්නම්. මේ එක්කම අපේ ගෙදරටත් ලියුමක් ලියන්න ඕනෙ. එක අතකට මට තීරණය කරන්න දේකුත් නැහැ. හැමදේම ඔයාලා තීරණය කරලා, තීරණය වෙලා ඉවරනෙ. මට තියෙන්නෙ ඔළුව නමන්න විතරයි.

මං දන්නවා මේ ඔක්කොටම මුල අර රමණි කියන පරට්ටිගෙ කේළං. එක අතකට මං රමණි ගැන නරකෙට හිතන එක වැරදියි. මමයි එතන වැරදි. වැරැද්ද රමණිට කලින්, බොහොම කලින් ඔයාව කසාද බඳින්න කලින් ඒ දේවල් ඔයාට නොකියපු එකයි. රමණි ඔයාගෙ යාළුවා. එයා ඔයාට උදව් කළා. දැන් මට හිතෙනවා මට කියා ගන්න බැරුව තිබිච්ච ඒවා ඔයාට කියලා රමණි මටත් කළේ උදව්වක් කියලා. රමණි නිතරම ඔයාව හම්බවෙන්න එනවා ඇතිනෙ. කියන්න රමණිට මං බොහොම ස්තුතියි කිව්වා කියලා. දැන්නම් ඔයාට කියන්න රමණි ගාව ඒ තරං දෙයක් නැතුව ඇති. මං මෙහාට ආපු දා ඉඳලා ගිගුම් ඔෆිස් යන්නෙ කෝච්චියෙ නෙමේ.

මට ඔයා ගැන ලොකු දූකක් තියනවා. මගෙ අම්මා තාත්තා ගැන ලොකු දූකක් තියනවා. පපුවෙ ලොකු ගලක් හිරවෙලා වගේ වෙලාවකට මට දැනෙනවා. ඒත් මං දැන් මේ ගෙවන්නෙ මගෙ ජීවිතේ නිදහස්ම දවස්. මොකද මම දැන් මම ම නිසා. රමණි කිව්වට වැඩිය දේවල් , ඔයාට මං කිවයුතුව තිබුණු ඒත් නොකිව්ව දේවල් මම දැන් ඔයාට කියන්නම්. මං එහෙම කියන්නෙ ඒ දේවල් ඔයාට දැන ගැනීමේ අයිතියක් තියනවා කියලා මම විශ්වාස කරන නිසා. අනික මට තවදූරටත් මාව සැහැල්ලු කරගන්න උවමනා නිසා. 

එදා හවස මං ගෙදරට ආපු ගමන්ම ඔයා මට දමලා ගැහුවෙ මං පිළිකුල්ම කරන වචනෙං. ඒකෙන් මාව රිද්දෝපු පළවෙනියා ඔයා නෙමේ. හැබැයි අන්තිමයත් ඔයා නොවෙන වග මම දන්නවා. එදා මම එනකොට දොරවල් ජනෙල් ඔක්කෙම වහලා තිබිච්ච නිසා මම හිතුවෙ ඔයා ඔෆිස් ඇරිලා ඇවිල්ලා නැතුව ඇති කියලා. ඒත් ඔයා අපේ කාමරේ ඇඳ උඩ කරුවලේම , සාරිය පිටින්ම , කොණ්ඩෙ කඩාගෙන , කොට්ටයක් තුරුල් කරන් ඉන්නවා දැක්කම මට තේරුණා කොතන හරි මොනවා හරි වැරුද්දක් සිද්ද වෙලා තියනවා කියලා . 

"ponce....."

ඔයා ලිප්ස්ටික් බොඳ වෙච්ච ඔය ලස්සන තොල් උල් කරලා ගිරිය යටින් බළල් සද්දෙකින් කෑ ගැහුවා. මට හැම දෙයක්ම හොඳට තේරුණා.

මුලින්ම මට ඔය ජරා තුප්පහි වචනෙන් බැන්නෙ අපිට අටේ පංතියෙදි පී . ටී කරපු කුලරත්න සර් '' නිකං ponce කෙනෙක් වගේ නැතුව හොඳට අත උස්සලා බෝල් කරපං බුරුවො '' ක්‍රිකට් ප්‍රැක්ටිස් වලදි සර් මගෙ ඇඟට කඩන් පැන්නා. අපේ පංතියෙ හිටිය ක්‍රීඩා වලට අදක‍්ෂම ළමයා මම. ponce කියන වචනෙට මලලසේකර ඩික්ෂනරියෙ දීලා තියන තේරුම ගණිකාවන්ගෙන් යැපෙන්නා. එදා කුලරත්න සර් බැන්නට පස්සෙ මම මං අද තව වෙනකං බෝලයක්වත් බැට් එකක්වත් අතින් අල්ලලා නැහැ. එදායින් පස්සෙ පී. ටී තියන දවසට එක්කො මම ඉස්කෝලෙ යන්නෙ නැහැ. එක්කො මට පී. ටී පීරියඩ් එකේදි බඩේ අමාරු , ඔළුව කැක්කුම්, කලන්ත හැදෙනවා. අපේ පංතියෙ කොල්ලො මං දිහා බැලුවෙ බිඳෙන වීදූරු බඩුවක් දිහා බලනවා වගේ. සමහරවිට මං නැති තැන උං මට හිනා වෙන්න ඇති. මං බොහොම කීකරු නිෂ්ශබ්ද ළමයෙක් හින්දා, ගුරුවරුන්ගෙ සුරතලෙක් හින්දා උං මං දිහා බැලුවෙ උංගෙ ගොඩට අයිති නැති පිටස්තර සතෙක් දිහා බලන විදියට. මට ඉස්කෝලෙදි කවදාවත්ම කිසිම කිට්ටු යාලුවෙක් ඉඳලා නැහැ. සමහරුන්ට මාත් එක්ක යාලු වෙන්න ඕන වුනත් මම හැමෝවම ආශ්‍රය කලේ දූරක ඉඳන්. ඒක මං හිතලා කරපු දෙයක් නෙමේ ඉබේ වෙච්චි දෙයක්. දූරින් මං ආශ්‍රය කරපු උං මාව ආශ්‍රය කලේ ගෙදර වැඩ කොපි කර ගන්න. මං උංව ආශ්‍රය කලේ මං තනියම නෙමේ ඉන්නෙ කියලා අනිත් අයට අඟවන්න. මගෙ යාළුවො වුණේ පොත්. අයියලා හවසට වෙලේ ක්‍රිකට් ගහන්න සරුංගල් අරින්න යනකොට නංගිත් ඒ පස්සෙන් දූවනවා. ඒත් මං ඉරිදා පත්තර ටික ළඟට කරගෙන අකුරක් නෑර කියවනවා.

පුංචිම කාලෙ ඉඳලා මං දැනගෙන හිටියා මං අනිත් අයගෙන් වෙනස් කියලා. මොකක්ද ඒ වෙනස කියලා මට පැහැදිලි තේරුමක් තිබුණෙ නැහැ-----. ඒක කායික වෙනසක් නෙමේ කියන්න මම දැනගෙන හිටියා. තාත්තා තිරිකුණාමලේ ඉඳලා නිවාඩුවට ගෙදර ආවම මට වැඩිය හුරතල් කලේ අයියවයි නංගිවයි. '' මේකා හරි සෝමාරියිනෙ '' කියලා තාත්තා මං දිහා බැලුවෙ තෙම්ච්ච බළල් පැටියෙක් දිහා බලනවා වගේ.

මං නිතරම පොත් වලටම ඇලීගෙන ඉන්න නිසා අම්මා බය වුණේ මගෙ ඇස් දූර්වල වෙයි කියලා. මං පොත් කියවනකොට අම්මා මට තේ හදලා ළඟට ගෙනත් දෙනවා. එයා දැනං හිටියා මං වෙනස් කියලා. මට හොඳටම විශ්වාසයි අම්මා අයියටයි නංගිටයි දෙන්නාටම වඩා මට ආදරෙයි කියලා. ලොකු අම්මලගෙ, නැන්දලගෙ, මාමලගෙ ළමයි අතරෙ මං හරි විශේෂ වුණා. කවුරු හරි ළමයෙක් දඟ වැඩක් කලොත් වැඩිහිටියො කිව්වෙ '' බලන්න නුවන් පුතා, ඔය විසේ නතර කරලා එයා වගේ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවකො '' කියලා. ඒත් මං පාඩුවෙ ඉඳලා වින්ද ඒ හුදකලාවෙ වේදනාව කාටවත්ම තේරුණේ නැහැ. නෑදෑයන්ගෙ ළමයි මං දිහා බැලුවෙ සර්පයෙක් දිහා බලනවා වගේ හිරිකිතෙන්. 

එක අතකට මේ පරණ යාං හෑලි ඔයාට වැඩක් නැතුව ඇති. ඒත් මං මේවා ඔයාට කියන්නම ඕනෙ. මුලින්ම මට ආදරයක් හිතුණෙ දහයෙ පංතියෙදි අපට සිංහල උගන්නපු සර් කෙනෙකුට. එයා උගන්නන්න පංතියට එනකොට මගෙ පපුව ගිඩි ගිඩි ගෑවා. ගෙදරදි පොත් කියවද්දි මට එයාව මැවිලා පෙනුනා. ඒ කාලෙ මම නිතරම දවල් හීන බැලුවා. ඒක කවුරුවත් නොදන්න ඒකපාර්ශවීය ආදරයක් . ගිගුම්ට වුණත් මං ඒ ගැන කිව්වෙ මේ ළඟදි. ඒ සර් අපිට ගණන් උගන්නපු කෙට්ටු කැත මිස් කෙනෙක්ව කසාද බැඳලා මාරුවක් අරන් එයාගෙ ගමට ගියා. මේවා කියවනකොට ඔයාගෙ මුණ අප්පිරියාවෙන් විරූපි වෙන හැටි මට පේනවා පේනවා වගේ.

මාත් ඒක පංතියෙ එකට හිටපු ළමයි කෙල්ලො ගැන උනන්දූ වෙනකොට, විභාග වලින් ලකුණු අඩුවෙන් ගන්නකොට මං ඒ හැමොටම වඩා ලකුණු අරගෙන විභාග පාස් කරගෙන කරගෙන ගියා. ඔයා විශ්වාස කරයිද මංදා ඒ ලෙවල් ක්ලාස් එකේදි මාත් කෙල්ලෙක් එක්ක යාළු වුණා. හරියටම කිව්වොත් ඒකි මගෙත් එක්ක බලෙන් යාළු වුණා. ඒ දීපිකා. ඒ කාලෙ මම මම කවුද කියලා තේරුම් අරන් හිටියෙ. ඒත් මම එයත් එක්ක යාළු වුණා. ඇත්තටම කිව්වොත් ඒක වටේ පිටේ අයට පේන්න කරපු ප්‍රදර්ශනාත්මක ආදරයක්. ඒකි ආදරේ කලේ මට නෙමේ ඉස්කෝලෙ මට තිබිච්ච පිළිගැනීමට. මං ආදරේ කලෙත් ඒකිට නෙමේ ඒකි මාත් එක්ක ගැවසෙනකොට වට පිට අය දකින දේට. ඒකට මොකක්ද කියන වචනෙ ? අපේ සම්බන්දෙ ගැන ඉස්කෝලෙ හුඟක් දෙනා පුදූම වුණා. ඒකිත් එක්ක තනි වුණාම මට කතා කරන්න දෙයක් තිබුණෙ නෑ. මම කියෙව්වෙ මං කියවපු පොත් ගැන මට හිතෙන දේවල්. ඒකිට ඒවා තේරුණාද මම දන්නෙ නැහැ. ඒකි ඇස් දිලිසෝ දිලිසෝ මං දිහා බලන් හිටියෙ . හිටපු ගමන් මගෙ අත් වලින් අල්ලගෙන ඇස් වලට එබුණා. මං කවදාවත්ම ඒකිට ''මං ඔයාට ආදරෙයි ''කියලා නැහැ . අන්තිමට ඒකිත් ඔයා වගේ භූමි කම්පාවක් ඇති කරලා ගියා. මම එදා එයත් එක්ක කියව කියව හිටියෙ මං කියවපු රුසියන් කෙටි කතාවක් ගැන. එයා හොඳට ඒවා අහගෙන හිටියෙ වෙනදටත් වැඩිය උනන්දූවෙන්. අපි එදා හිටියෙ ඉස්කෝලෙ පිට්ටනිය අයිනෙ අරලිය ගහක් යට. එකපාරටම දීපිකා මගෙ අත ඇල්ලුවා, ආයිත් අත ගසලා දැම්මා. ගස්සලා යන්න ගියා. එච්චරම තමා. පස්සෙ ඒකි අපේ පංතියෙම වෙන කොල්ලෙක් එක්ක යාළු වුණා. ඒත් ඉන්පස්සෙ ඒකි මං ගැනවත් අපේ සම්බන්දෙ ගැනවත් කිසිම කෙනෙක් එක්ක කිසිම දෙයක් කියලා තිබුණෙ නැහැ. ඒ කාලෙ වෙනකොට මට ඉගෙන ගන්නත් එච්චර උනන්දූවක් තිබුණෙ නැහැ. මං දැනං හිටියා මාව විභාගෙන් පාස් වෙන බව. මං ඔහෙ අතට අහුවෙන පොත් කියව කියව හිටියා.

දීපිකා ඈත් වුණාට පස්සෙ මට තව කෙල්ලෙක් එක්ක යාළු වෙන්න වුවමනා වුණේ නැහැ. මට ඕනෙ වුනේ මම ම වෙන්න. මං ඒ දවස් වල පත්තරවල ගැටළු තීර වලට බොරු නම් ගම් එක්ක මගෙ ගැටළුව ලියලා දානවා. එක දොස්තර කෙනෙක් කියලා තිබුණෙ කළල අවධියෙ අම්මගෙ ගර්භාෂෙ ඇන්ඩ්‍රොජන් සාන්ද්‍රනය අඩු වුනාම උපදින ළමයි පස්සෙ කාලෙක තමන්ගෙම ලිංගෙ අයට ආකර්ෂණය වෙනවා කියලා. තව කෙනෙක් මේක ජාන වලින් එන දෙයක් ය , තවත් දොස්තර කෙනෙක් මේක පෞරැෂ වර්ධනයෙ ප්‍රශ්නයක්ය වගේ උත්තර දීලා තිබුණා. හැබැයි මේ හැම කෙනාගෙම උත්තරය වුණේ මේක ලංකාවෙ සංස්කෘතියට ගැලපෙන්නෙ නෑය, එහෙම නැත්තං මේ ගතිය පස්සෙ ඇරේවිය, අනවශ්‍ය දේවල් හිතන්නෙ නැතුව අධ්‍යාපනයට හිත යොදවන්නය, කසාදයක් බැන්දහම හරියා ය වගේ අදහසක් . දෙයියනේ තමන්ගෙ අවශ්‍යතාවය අනවශ්‍යය දෙයක් වෙන්නෙ කොහොමද? 

ඒ ලෙවල් ඉවර වෙචිච ගමන්ම මට කච්චේරියෙ රස්සාව හම්බ වුණා. ඒකට ගොඩක් උදව් කලේ තාත්තගෙ යාළුවා පෙරේරා අංකල්. ඒ දවස් වල මං සෑහෙන්න ඇවිස්සිලා හිටියෙ. බස් එකේ , කෝච්චියෙ, පාරෙ ඔය කොහෙදි හරි වුණත් මං කැමති විදියෙ පිරිමියෙක් දැක්කම මාව ගිනි ගත්තා. සමහර මිනිස්සුත් එක්ක මං අනවශ්‍ය විදියට හිනා වෙනකොට, මුණ දිහා බලා ඉන්නකොට ඒ අය අපහසුතාවයට පත් වෙලා අහක බැලුවා. සමහරු මහ කැත විදියට කටවල් හදලා හිනා වුණා. දවසක් නුගේගොඩදි . . . . . එක අතකට මේවා ඔයාට කියන එක තේරුමක් නැති වැඩක්. ගොඩක් වෙලාවට ඔයා මේවා තේරුම් ගන්න එකකුත් නැහැ.

මං රස්සාවට යන්න අරන් මාස හයකට විතර පස්සෙ තමයි ගිගුම්ව හම්බ වුණේ. ඔෆිස් යද්දි කෝච්චියෙදි තමයි මම ගිගුම්ව මුලින්ම දැක්කෙ . මතකද ඔයාව බලන්න මං අම්මලත් එක්ක ඔයාලගෙ ගෙදර ආපු දවස ? එදා ඔයා මාව දැකලා ඔයාට හිතිච්ච දේවල් පස්සෙ දවසක මට විස්තර කලා. ඒ වගේ දෙයක් තමා ගිගුම්ව දැක්කම මටත් දැනුනෙ. ගිගුම් ගියෙත් මං ගිය කෝච්චි පෙට්ටියෙමයි. එයා කෝච්චියට අළුත්. මුල් දවස් වල අපි හිනා වුණා විතරයි. එයාගෙ හිනාව හරි ලස්සනයි. පස්සෙ පස්සෙ අපි පොඩි පොඩි දේවල් ගැන කතා බහ කලා. කෝච්චියෙ තද බදේ ගැන, වැස්ස ගැන, ඡන්දෙ ගැන. එයයි මමයි හොඳ යාළුවො වුණා. එයා කෝච්චියට නැග්ගෙ මම නැගලා ස්ටේෂන් දෙකකට විතර පස්සෙ තියන ස්ටේෂන් එකකින්. මම හැමදාම එයා කෝච්චියට නඟිනකං බලන් ඉන්න පුරුදු වුණා. එයත් නඟින්න කලින්ම බෙල්ල දික් කර කර මං ඉන්නවද බැලුවා. අපි හැමදාම ගියෙ හිටගෙන. හවසට එනකොට එයා ආවෙ පහයි පහේ කෝච්චියෙ. මම ආවෙ පහයි හතලිස් පහේ එකේ. ටික දවසකින් එයා මාත් එක්කම යන්න පහයි හතලිස් පහ වෙනකං කොටුවෙ ස්ටේෂන් එකේ ඉන්න පුරුදු වුණා. අපි බංකුවක් උඩ ඉඳන් එකිනෙකා දිහා බලන් හිටියා. මොන්ටිසෝරි යන ළමයි වගේ අත් වැල් පටලගෙන ඉවරයක් නැතුව චුරු චුරු ගගා කතා කලා. එයා නිවාඩු දාලා ගමේ ගිය දවසට මට මහ සොහොන් පාළුවක් දැනුනා. මං හැමදාම රැට නිදා ගත්තෙ ගිගුම් ගැන හිත හිත. උදේට නැගිට්ටෙත් එයා ගැන හිත හිත. මම දැකපු සමහර හීන වල එයයි මමයි එක එක දේවල් කලා. ගැස්සිලා ඇහැරුනාම මගෙ සරම තෙත් වෙලා තිබුණා. එයාගෙ අත අල්ලලා තියනවා ඇරෙන්න ඊට එහා දේකට ඒ වෙනකන් කවදාවත් මම ගිහින් තිබුණෙ නැහැ. ඒ වෙනකොට මටත් දරා ගන්න බැරි තරමට මම එයාට ආදරේ වෙලයි හිටියෙ. මට බය හිතුණා එයාට ඒක තේරිලා මාව දාලා යයි කියලා. ඒත් පපුව පිරෙන්න මං එයාට ආදරෙයි කියලා කියා ගන්නත් මට ඕනෙ කම තිබුණා. මට දැනුනා එයා අනිත් අයට වඩා වෙනස් සුවිශේෂ මනුස්සයෙක් කියලා. ඒත් දෙයියනේ මිනිහෙක් කොහොමද කටක් ඇරලා තව මිනිහෙකුට ආදරෙයි කියන්නෙ. 

එක සිකුරාදාවක ගිගුම් මට ෆිල්ම් එකක් බලන්න යන්න කතා කලා. අපි ගියෙ සෙනසුරාදා. ෆිල්ම් හෝල් එකේ ලයිටි ඕෆ් කලාම මම සැරින් සැරේ එයා දිහා බැලුවා. එයත් මගෙ දිහා හොරෙන් හොරෙන් බලනවා මම දැක්කා. කළුවරේ එයාගෙ ඇස් දිලිසුනා. මට දැනුනා එයාගෙ අත මගෙ අතේ ගෑවෙනවා. මම මගෙ අත තව ටිකක් කිට්ටු කලා. එයා මගෙ දිහා බලලා හිනා වුණා හරියට හොර වැඩක් අහු වුණා වගේ. ඉස්සෙල්ලා එයාගෙ අත ඇල්ලුවෙ මම ද මගෙ අත ඇල්ලුවෙ එයාද කියලා අදටත් සමහර වෙලාවට මම හිතනවා. ටික වෙලාවකින් එයාගෙ අත මම සිනිඳුවට අත ගාමින් උන්නා. ටිකකින් හෝල් එකේ ලයිට් පත්තු වුණා. එයා මට මූණ දෙන්න බැරුව වගේ අහක බලා ගත්තා. මං අපි දෙන්නටම අයිස් චොක්ස් ගෙනාවා. මගෙ හිත ඇතුලෙ මහා කුණාටු දහස් ගාණක් හමම්න් තිබුණා. ඒක දරා ගන්න අමාරු සතුට කලවම් වෙච්ච සංකීර්ණ හැඟීමක්. අපි දෙන්නම නාඳුනන දෙන්නෙක් වගේ කතා බහක් නැතුව අයිස් චොක්ස් කෑවා. ආයිත් ලයිට් ඕෆ් කලාම ඉක්මන් වුණේ මමයි. මම එයාගෙ අතක් අරන් මගෙ අත් අතර තියලා මිරිකුවා. පස්සෙ මම ඒ අත සිනිඳුවට ආදරෙන් අත ගෑවා. මාව ගිනියම් වෙලා හිටියෙ. ඒක අමුතුම මත් ගතියක්. එයා සැරින් සැරේ මගේ දිහා බලලා යන්තමට හිනා වුණා. ෆිල්ම් එක ඉවර වෙනකොට අපි දෙන්නට දෙන්නා කවුද කියලා දන්නවා. හැබැයි ෆිල්ම් එකේ මොනවා තිබුණද කියන්න දෙන්නටම මතක නැහැ.

එදා මට දැනිච්ච නිදහස මහ පුදුම එකක්. ඒක නිකං හරියට අවුරුදු ගාණක් කූඩු කරලා හිටපු කැළෑ සතෙක් ආපහු කැළේට නිදහස් කරපුවාම ඌට දැනෙන හැඟීම වගේ එකක් . ඒක මහ පුදුම හැඟීමක් නිමාලි. අපි ෆිල්ම් එක ඉවර වෙලා කරුවල වැටෙන කල්ම ඔහෙ පාරවල් දිගේ ඇවිද්දා. හේතුවක් නැතුව හයියෙන් හිනා වුණා. ඇත්තටම අපි පියාඹමින් හිටියෙ. දකින මිනිස්සු හිතන්න ඇති අපිට පිස්සු කියලා.

මං සමහර සති අන්ත වල ගිගුම්ගෙ බෝඩිමට යන්න පුරුදු වුණා. ඒත් ගිගුම් කවදාවත්ම අපේ ගෙදර ආවෙ නැහැ. එයා එහෙම එනවට මම කැමති වුණෙත් නැහැ . ඒවා හුඟාක් ලස්සන දවස්. අපි පොඩි පොඩි ට්‍රිප් ගියා. සීගිරිය, පාසිකුඩා, ලෝකාන්තෙ වගේ තැන් වලට ගිහින් ලාබ හෝටල් කාමර වල නැවතුණා. නිවාඩු දවස් වලත් මම ගෙදර නැති වුණාම අම්මලා හිතුවෙ මං ගෑනු ළමයෙක්ව යාළු කරගෙන කියලා. මහ රැටත් මගෙ ෆෝන් එකට කෝල්ස් එස් එම් එස් එනකොට අම්මා අහනවා කවුද ළමයො ඔය හැටි කතා කරන්නෙ කියලා. යාළුවන්ගෙන් කියලා කියනකොට එයාගෙ නළල රැළි වෙන හැටි මම දකිනවා. මෙච්චර කල් හිටපු නැති යාළුවො එක පාරටම කොහෙන් පහළ වුණා ද කියලා එයා හිතන්න ඇති. දවසක් රෑක මං අහගෙන තාත්තා අම්මට කියනවා '' පුතාට මොකක් හරි හරි ගිහිල්ල වගේ, අහලා බලනවා'' කියලා. තාත්තා හිතාගෙන හිටියෙ මම අයියා වගේ නෙවෙයි බොහොම හිතල මතල වැඩ කරන කෙනෙක් කියලා. ඔය කාලෙ අයියා ගෙදරට හොරෙන් නිලු අක්කව කසාද බැඳපු අලුත. අයියගෙ හරි නිලු අක්කගෙ හරි නම ඇහුනත් ඇති තාත්තට පරල වෙන්න. නංගිගෙයි ප්‍රියන්තගෙයි පටලැවිල්ලත් ඔය දවස් වල තිබුණා. දැන් තාත්තයි ප්‍රියන්තයි කිරියි පැණියි වගේ වුණාට ඒ දවස් වල නයයි පොළඟයි වගේ. ඉතිං තාත්තා මං ගැන කප්පරක් බලාපොරොත්තු තියං හිටියා.

දවසක් දා හවසක අම්මා මගෙන් මගෙ ගෑනු ළමයා ගැන ඇහුවා. මම ගත් කටටම එහෙම දෙයක් නෑ කිව්වම අම්මා හොඳටම පුදුම වුණා. තාත්තට ඕනෙ වුණා මාව ඉක්මනටම බන්දන්න. අම්මලා මගෙන් අහන්නෙත් නැතුව ඒ දවස් වල මට මඟුල් හොයන්න පටන් ගත්තා. ඒ වෙනකොට මගෙයි ගිගුම්ගෙයි ආශ්‍රයට අවුරුදු හතරක් විතර ඇති . ඉරිදා පත්තර වල මංගල දැන්වීම් කියවන එක අම්මගෙ විනෝදාංශයක් වගේ වුණා. තව කපු ගෑනු දෙතුන් දෙනෙකුටත් අම්මලා ලේලියක් හොයන වැඩේ පවරලා තිබුණා. මම ගිගුම්ට මේවා කිව්වම එයා කිව්වෙ ඔයාට හරියි කියලා හිතෙන විදියට වැඩ කරන්න කියලා. මට එයාගෙ බෙල්ල මිරිකන්න තරම් කේන්තියක් ආවා. අපි මෙච්චර අවුරුදු ගාණක් ආශ්‍රය කලේ ඔය ටික අහගන්නද ? ඒ වෙනකොට මගෙ ඔළුවෙ හිටියෙ ගිගුම් විතරමයි. මං හිතුවෙ එයා මට '' අපි දෙන්නා මේ වගේ දේවල් නීතියෙන් පිළිගන්න රටකට යමු , එහෙම නැත්තන් අපි දුර පළාතකට පැනලා යමු '' වගේ උත්තරයක් දෙයි කියලයි . මං එහෙම හිතුවෙ එක පැත්තක් අමතකම කරලා දාලයි. ගිගුම්ගෙ පවුලෙ හිටියෙ ගිගුම් විතරමයි. එයාගෙ අම්මවයි තාත්තවයි බලා කියා ගැනීමේ වගකීම එයාට තිබුණා. වෙන රටකට ගිහින් අපි ජීවත් වෙන්නෙ කොහොමද?, යන්න වීසා ගන්නෙ කොහොමද ? යන්න සල්ලි දෙන්නෙ කවුද ? දුර පළාතකට පැනලා ගියොත් අපි ජීවත් වෙන්නෙ කොහොමද? කොහෙද? ඒ වගේ දේවල් ඒ දවස් වල මගෙ මෝඩ ඔළුවට ආවෙ නැහැ. මං හිතුවෙ මං ගැන විතරමයි. මට ඕනෙ වුණේ සදහටම ගිගුම්ව තුරුල් කරන් ඉන්න විතරමයි. ගිගුමුයි මමයි වයසට ගිහිල්ලා පරණ දේවල් කතා කර කර ඉන්න දවසක් ගැන හීන මැව්වා. මට ගිගුම්ගෙ උරිස්සෙ ඔළුව ගහගෙන අඬන්න ඕනෙ වුණා. ඒත් මම එහෙම කළේ නැහැ මගෙ තියන උද්දච්ච කමට. 

අම්මලගෙ බල කිරිල්ලට මම ගියා මනමාලියො හත් අට දෙනෙක් බලන්න . ඒ හැමෝවම ප්‍රතික්ෂේප කරන්න හේතු මං හොයා ගත්තා. ඒ වැඩි දෙනා ඉරිදා පත්තර මනමාලියො. අන්තිමට මං ආවෙ ඔයාව බලන්න. ඔයාවත් එහෙම ප්‍රතික්ෂේප කළා නං කියලා පස්සෙ මට හිතිච්ච වාර අනන්තයි. ඒ වෙනකොට මට ගිගුම්ගෙ දෙපැත්තට වැනෙන කතා එපා වෙලයි තිබුණෙ. මට මගෙ අම්මයි තාත්තයි ගැනත් ලොකු දුකක් තිබුණා. ඒ අයට අයියවයි නංගිවයි දෙන්නම අහිමි වෙලා හිටියෙ. අයියා නිලු අක්කත් එක්ක ඇනෙක්ස් එකක් අරන් හිටියා. නංගි හිටියෙ ප්‍රියන්තලගෙ ගෙදර. තාත්තා පොඩි ළමයෙක් වගේ අසරණ වෙලා හිටියා. මාවත් එයාලට අහිමි වුනොත්, අම්මෙකුට තාත්තෙකුට විඳින්න බැරි තරම් ලොකු නින්දාවක් මං නිසා එයාලට විඳින්න වුනොත්. ඒක මහ පවක් කියලා මට හිතුණා. අන්තිමට මම අම්මලත් එක්ක ඔයාව බලන්න ආවා. අම්මලා කැමතිනම් මම ඔයා බඳිනවා කියලා ඔයාව දකින්නත් කලින් තීරණය කරන් හිටියෙ. ඔයා හෙප්පුවක් අරන් ලැසි ගමනෙන් මගෙ ඉස්සරහට ඇවිත් ලාවට හිනා වෙලා ඇස් කොනෙන් මගෙ දිහා බැලුවා. ගෙදර ඇවිත් හරි සීදේවි කෙළි පැටික්කි කියලා අම්මයි තාත්තයි ඔයා ගැන කතා වුණා. එතනින් පස්සෙ වෙච්ච හැම දේම ඔයා දන්නවනෙ, ඔයා මට සාප කරයි. ඒත් මම ඇත්ත කියන්න ඕනෙ. ඔයාගෙ කිසිම ලස්සනක් මම දැක්කෙ නැහැ. මම ඒ තකතීරු තීරණේ ගත්තෙ මං වෙනුවෙන් නෙමේ මගෙ දෙමව්පියො වෙනුවෙන්. 

ගිගුම්ට මම බඳින බව කියන්න ගියාම එයා ඇහුවෙ '' හොඳට හිතලද තීරණේ ගත්තෙ '' කියලා විතරයි. මං බලාපොරොත්තු වුණා ගිගුම් අඬයි කියලා. ඒත් එයා ඇඬුවෙ නැහැ. මං එන්න හදනකොට ගිගුම්ට කතා කර ගන්න බැරි වුණා එයාගෙ යටි තොල වෙව්ලුවා. ඒත් එයා ඇඬුවෙ නැහැ. අමාරුවෙන් මවා ගත්ත හිනාවක් පෙන්නුවා. ගිගුම් ඒ වෙලාවෙ ඇඬුවා නම් මේ හැම දේම මෙයිට වැඩිය වෙනස් විදියකට ඉවර වෙන්න තිබුණා. '' අපි ආයෙ මුණ නොගැහි ඉමු'' කියලා එයා කිව්වා. මම ගෙදර ආවෙ මළ මිනියක් වගේ. ඇවිත් කාමරේ දොර වහගෙන පැය ගාණක් ඇඬුවා. ඊට පස්සෙ මට පොඩි සහනයක් දැනුනා. මම කෝච්චියෙ නොගිහින් බස් එකෙන් ඔෆිස් යන්න පටන් ගත්තා.

ඔයත් එක්ක රත්තරන් බඩු තෝරන්න, සාරි තොරන්න ගියාට මං හිටියෙ රොබෝ කෙනෙක් වගේ. මාව ඇතුලෙන් මැරිලා හිටියෙ. අපේ වෙඩින් එක දවසෙ වෙච්ච කිසි දෙයක් මට මතක නැහැ. ඒක නපුරු හීනයක් වගේ. එදා කිතුල්ගල හෝටලේදි ඔයා ඇඳේ මුල්ලක වාඩිවෙලා ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඉන්නකොට මට අපි දෙන්නා ගැනම ඇති වුණේ ලොකු දුකක් . මම ඔයත් එක්ක ඉන්නකොට ඇස් පියාගෙන ගිගුම්ව මවා ගන්නවා. ඒත් ඒක හරි අසාර්ථකයි. ඔයා ගිගුම් නෙමේ, මට ඔයත් එක්ක හිටපු හැම දවසක්ම මහ විකාර හිරිකිත දවස්. අපේ ගෙදර ඉන්න බැහැ වෙනම ගේකට යමු කිව්වම, දැන්ම බබෙක් හදන්න බැහැ අවුරුද්දක් දෙකක් ඉමු කිව්වම, බස් එකේ වැඩට යන්න බැහැ වෑන් එකකට දාන්න කිව්වම, දෙපාරක් හිතන්නෙ නැතිව මම කැමති වුණා, ඒ මං ඔයා ගැන දුක් වුනු නිසා.ඔයා උගුලක අහුවෙච්ච කෙනෙක් නිසා. ඒ උගුල ඇටෙව්වෙ කවුද? මම ද? මගෙ දෙමව්පියො ද? කවුද? අනේ මංදා. '' මොකද ඔයා මං කියන හැම දෙයක්ම හොයන්නෙ බලන්නෙ නැතුව හා කියලා කරන්නෙ....?'' දවසක් රෑක ඔයා කොණඩෙ පීර පීර ඇහුවා. මගෙ ඔළුව අවුල් වුණා. ඇත්තටම මම දැනගෙන හිටියෙ නැහැ ගෑනියෙකුට ඕනෙ කරන්නෙ කරන කරන දේට එපා කියන පිරිමියෙක් කියලා. 

ඔයාගෙ ඔළුවෙ ඉන්න පිරිමියා විදියට හැඩ ගැහෙන්න කොච්චර උත්සහ කළත් මට බැරි වුණා. හැමදාටම ජීවිතේ පුරාවටම ගෑනියෙක් එක්ක ඉන්න වෙලා තියනවා කියලා හිතුණම මට තද හිසරදයක් වගේ වුණා. ඒ දවස් වල ඔයා රෑට දුහුල් නයිටියක් ඇඳන් මගෙ වටේ හොර ගල් අහුලනකොට, එක එක කෑම ජාති හදලා කන්න කියලා මට බල කරනකොට මට ඔයාව මහ විකාරයක් වුණා. ''මට කරදර නොකර යනවා ඕයි'' කියලා එලව ගන්නවද ඔයාගෙ තොඳොල් වැඩ වලට එකතු වෙලා ඔයත් එක්ක හුරතල් වෙනවද කියලා මට හිතා ගන්න බැරි වුණා. මට ඔනෙ වුනේ ඔයාගෙන් හැංගෙන්නයි. මම පුළුවන් තරම් උදෙන් ඔෆිස් ගියා. පුළුවන් තරම් රෑ වෙලා ගෙදර ආවා. ගෙදර ඉන්න වෙලාවට පොතක් පත්තරයක් අරන් පැත්තකට වුනා. මං හිතන්නෙ ඔයාට මාව එපා වෙන්න ඇති. මට නං ඒක කල් කදුරු වගේ තිත්ත ජීවිතයක්.

ඔයා වුනත් පිළිගන්නවා ඇති කාට වංක වුනත් තමන්ගෙ හිතට වංක වෙන්න බෑ කියලා. ඒත් මං එහෙම පුළුවන් කියලා මගෙ හිතට ඒත්තු ගන්නව ගන්න හැදුවට මටත් ඒක කරන්න බැරි වුණා. ඔයාට මතකද එක ඉරිදාවක ඔයා ඔයාලගෙ මහ ගෙදර යන්න මට කතා කලා. ඔයාට ඕනෙ කලේ මාත් එක්ක සාප්පු ගානෙ යන්න, ඔයාගෙ ගෙදර අය ඉස්සරහා මාත් එක්ක හුරතල් වෙන්න. ඔයාගෙ අයියලත් එක්ක මම බොනවා බලන්න. එයාල දෙපිට කැපෙන කතා කියනකොට හීන් බළල් සද්දෙකින් හිනා වෙන්න. ඒත් මට ඒ දේවල් තිත්තයි නිමාලි. ඔයාට දැන්වත් මම කියන දේවල් තේරෙනවද? තේරෙන එකක් නැහැ. ඒ ඔයා ඔයාම නිසා. එදා මං කිව්වා මට ඔෆිස් එකේ හදිසි වැඩක් ඔෆිස් යන්න ඕනෙ කියලා. මං බොරු කියනවා කියලා ඔයා ඇඬුවා. මං ලෑස්ති වෙලා යන්න ගියා. ඇත්ත තමයි මම එදා ඔයාට කිව්වෙ බොරු. මට යන්න තැනක් තිබුණෙ නැහැ. මගෙ ඔළුව ගිනි අරන් තිබුණෙ. මං ඔහේ බස් වල නැගලා ගියා. මගදි මට හිතුණා ගිගුම්ව බලන්න යන්න. 

මං එහෙ ගියෙ මාත් එක්කම යුද්ද කර කර. ගිගුම් බෝඩිමේ හිටියා. එයා ඇහුවෙ නෑ ඇයි ආපහු ආවෙ කියලා. එයා මාව ඇල්ලුවෙ නැහැ. දුරින් ඉඳන් ඔහෙ බලා හිටියා. මම එයා ළඟට ගිහින් එයාගෙ කර වටේ අත දැම්මම හැමදේම ලේසියෙන් පරණ තත්වෙට ආවා. එ‍් මං ආදරේ කරපු පරණ ගිගුම් ම යි. ගිගුම් මං එයාව දාලා ගියාට පස්සෙ තිබිචිච සම්බන්ධතා දෙකක් ගැන පාපොච්ජාරණය කලා. ඒවා නිකං ලිංගික සම්බන්ධතා. එයින් එකක් නතර වෙලා. අනිත් එක ගැනත් එයා හිටියෙ ලොකු කලකිරීමක. ආයෙමත් හැම දේම හොඳ වුණා. අපි එකට කෝච්චියෙ ගියා . සති අන්ත වලදි මුණ ගැහුනා. නිමාලි ඒ කාලෙ මම ඔයත් එක්කත් සතුටෙන් හිටියා. ඒක ලොකු බරක් ඔළුව උඩ තියාගත්තු සැහැල්ලුවක්.

කෝච්චියෙ යන අය අතරෙ ගිගුම් ගැනයි මං ගැනයි එක එක කටකතා තිබුණු බව අපි දෙන්නම දැනගෙන හිටියා. සමහරු අපිත් එක්ක කටපුරා හිනා වෙලා ආයි අපිටම ඇහෙන්න සමච්චල් කතා කිව්වා. රමණිත් එහෙම කියපු කෙනෙක්. මං දැනං හිටියෙ නෑ රමණි ඔයාගෙ යාළුවෙක් කියලා. අපේ තාත්තා ලෙඩ වෙච්චි දවස් වල මම දවස් ගාණක් නිවාඩු දැම්මා ඔයාට මතකනෙ. ඒ දවසක රමණි ගිගුම්ගෙන් අහල තියනවා '' ඇයි ඔයාගෙ බෝයි ෆ්රෙන්ඩ්ට වෙන කොල්ලෙක් සෙට් වෙලාද දැන් දකින්න නැත්තෙ '' කියලා. ගිගුම්ට හොඳටම තරහ ගිහින් රමණිට බැනලා. මම කවදාවත් හිතුවෙ නෑ මේවා මෙච්චර ඉක්මනට ඔයාගෙ කණට යයි කියලා. ඒත් දැන් ඒක වෙලා ඉවරයි. 

තවදුරටත් මට ඔයත් එක්ක පවුල් කෑමේ වුවමනාවක් නැහැ. දැන් මටත් කලින් අනිවාර්යයෙන් ඔයා ඒ තීරණේ අරන් ඇති. '' ද්වේෂ සහගත ලෙස අතහැරයාම '' හරි '' ලිංගික අකර්මන්‍යතාව '' හරි වෙන මොන කෙහෙල්මලක් යටතේ හරි මට විරුද්ධව දික්කසාද නඩුවක් දාන්න. දැන් තියන තත්ත්වෙ උඩ මට චුදිතයා මිසක් පැමිණිලිකාරයා වෙන්න බැහැනෙ. ( මේ ලියුමත් ඔයාට වටිනා සාක්ෂියක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ) හොඳ වෙලාවට අපි බබෙක් හදන වැඩේ කල් දැම්මෙ. නැත්තන් අපේ ප්‍රශ්න වලට අසරණ කිරිසප්පයෙකුටත් වන්දි ගෙවන්න වෙනවා. අපි හිටපු ගේ ගන්න මං ගත්ත ණය තව අවුරුදු බර ගාණක් ගෙවෙන්න තියනවා. ඒක මම කොහොම හරි ගෙවන්නම්. ඒ ගේත් ඔයාගෙ නමට ලියන්නම්. ඔයා තාම හුඟක් තරුණයි. අලුත් ජීවිතයක් පටන් ගන්න තවම පරක්කු නැහැ. එහෙම කියලා මම ඔයාගෙ ජීවිතේට කරපු වැරැද්ද අඩු වෙන්නෙ නැහැ. ඒත් මට කරන්න පුළුවන් එච්චරයි. 

මම ඔයාගෙනුයි, ඔයාගෙ දෙමව්පියන්ගෙනුයි සමාව ඉල්ලනවා මගෙන් වෙච්චි මේ දරුණු වැරැද්දට. හැබැයි මේ වෙච්චි දේවල් ගැන මම පසුතැවෙන්නෙ නැහැ. පසුතැවෙන්නෙ මං කසාද බැඳපු එක ගැන විතරයි. දැන් මට ආයි ඔෆිස් යන්න බැහැ. මේවා ලැව් ගිනි වගේ පැතිරිලා ඇති. ගිගුම් නම් තාම ඔෆිස් යනවා. මට බය එයාටත් ඔෆිස් යන්න බැරිවෙයි කියලා. ඉතිං නිමාලි ? මේක මේ ප්‍රශ්නෙ විසඳන්න තියන හොඳම විදිය නේද? 

දැන් මට මහා සැහැල්ලුවක් දැනෙනවා. ගිගුම්ගෙ බෝඩිමෙත් මම වැඩි දවසක් ඉන්න බලාපොරොත්තුවක් නැහැ. ඇයි මම කාටවත් බරක් වෙන්නෙ ? ගිගුම්ටත් එයාගෙම කියලා ලෝකයක් ඇති. මං එයාට හුඟාක් ආදරෙයි. එයත් මට ආදරෙයි. ඒත් ආදරේ විතරක්ම තිබිලා මදි ජීවත් වෙන්න.

මම ඔයාගෙන් ඉල්ලන ලොකුම උදව්ව දික්කසාදෙ වැඩේ ඉක්මනට කරන්න කියන එක. එහෙනම් මම නවතින්නම්. ඔයාට තෙරුවන් සරණෙන්, දෙවි පිහිටෙන් හොඳ අනාගතයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

මම ඔයාගෙ විශ්වාසය කැඩු ,

නුවන්

ප. ලි.
දෙමටගොඩ සිරිවර්ධන මහත්තයා දික්කසාද නඩු වලට හොඳයිලු. ගාණත් අඩුයිලු. නඩු කල් දාන්නෙ නැතුව ඉක්මනට ඉවර කරනවලු . පුළුවනි නම් එයාව අල්ල ගන්න බලන්න. 

2002.02.30

************************************************************************

මේක ලංකාවේ පරිසරයක සිද්ධවෙන තවත් එක් කතාවක් විතරයි. සමහරුන් මීට වඩා කලින් නව යොවුන් වියේදී සමරිසි සම්බන්ධයක් පටන්ගන්නවා. සමහරු විවාහ නොවීම ගෙදරින් ඉවත් වෙනවා.මේ කතාවේ කියවෙන පුද්ගලයා ඉගෙනීමට බර පුද්ගලයෙක් වුණාට සමහරු ක්‍රීඩාවට බරයි. එක් එක් අයගේ කතාව විවිධයි.ලිංගිකත්වය කියන්නේ පුද්ගලයකුගේ ජීවිතයේ තවත් එක් පැතිකඩක් විතරයි. ඒ නිසා හැඟීම් දැනීම් එකම වුණත් සියලු සමරිසියන්ගේ කතාව මෙය යැයි කියා විශ්වාස කරන්න එපා.

මේ කතාව මුලින් පළවුණු අඩවිය මෙතනින්



Wednesday, August 15, 2012

සමලිංගිකත්වයේ ඉතිහාසය - 4



2008 දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුවට පුද්ගලයකුගේ ලිංගික දිශානතිය සහ ලිංගික අනන්‍යතාවය මත ප්‍රචණ්ඩත්වය, හිංසා කිරීම, විවේචනය, බැහැරකිරීම, ගර්භාවට පත්කිරීම සහ නීතිමය පියවර ගැනීම හෙලාදකිමින් ප්‍රකාශයක් ඕලන්ද-ප්‍රංශ රටවල ඇරඹීමකින් යුරෝපා සංගමයේ සහයෝගය ඇතිව ඉදිරිපත් විය.සමරිසියන්ට සිදුකරන ඝාතන, මරණ දඬුවම්, වදදීම්, අත් අඩංගුවට ගැනීම, ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් අහිමි කිරීමද එහි සෘජුවම හෙලා දැක තිබිණි. එවක එක්සත් ජාතීන්ගේ සංගමයේ සිටි සාමාජික රටවල් 192න් රටවල් 85ක් එයට සහය දෙමින් එය අත්සන් කළ අතර අරාබි ලීගය ප්‍රමුඛ රටවල් 57ක් එයට විරෝධය පල කරද්දී ඉතිරි රටවල් එය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළහ. එම විරෝධය දැක්වූ රටවල් බහුතරය ආගමික නිදහස, කාන්තා නිදහස සහ පුද්ගල නිදහස නැති ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන රටවල් බව ඔබට පෙනේවි.
නිල් පැහැයෙන් ප්‍රකාශයට අත්සන් තැබූ රටවල්ද, කොළ පැහැයෙන් එයට විරුද්ධ රටවල්ද දැක්වේ.
ඉතිරිය එය ප්‍රතික්ෂේප කළ රටවල්ය.
වර්තමානය වන විට ලොව රටවල් 76ක සමලිංගිකත්වය නීති විරෝධීය. ශ්‍රී ලංකාවද අයත් වන්නේ මෙම රටවල් ගණයටය. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365(අ) වගන්තියට අනුව "ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ වෙනත් පුරුෂයකු සමඟ තදබල අශෝභන ක්‍රියාවක් හෝ එබඳු ක්‍රියාවක් යම් පුරුෂයකු ලවා කරවන හෝ කරවීමට තැත් කරන පුරුෂයකු වරදකට වරදකාරයකු විය යුතුය…" යනුවෙන් පිරිමි සමලිංගිකත්වය සාපරාධීකරණය කර ඇති අතර එයට දඬුවම ලෙස උපරිම වශයෙන් අවුරුදු 20ක සිර දඬුවමකට යටත් කළ හැකිය.එහෙත් ඉංග්‍රීසි යටත් විජිත සමයේ ගෙන ආ සමලිංගිකත්වයට එරෙහි මෙම නීතිය 1948දී නිදහස ලැබීමෙන් පසු ක්‍රියාත්මක වී නොමැත. ස්ත්‍රී සමලිංගිකත්වය සඳහන් නොවූ නිසා 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත මගින් "තැනැත්තියන් අතර සිදුවන තදබල අශෝභන ක්‍රියා" ලෙස සංශෝධනය කරමින් එයද සාපරාධීකරණය කෙරිණි.මෙම නීති කොතරම් මානුෂික දැයි සලකා බැලීම මෙය කියවන පාඨක ඔබට භාරය.
ඉරානයේ සමරිසියන් ප්‍රසිද්ධියේ එල්ලා මැරීම
ලංකාවේ මෙම නීතිය ක්‍රියාත්මක නොවන නමුදු බහුතරයක් මුස්ලිම් රටවල මෙම නීතිරීති දැඩිව ක්‍රියාත්මක වේ. එහෙත් මුස්ලිම් ජනයා විශාල වශයෙන් ජීවත් වන ඉන්දුනීසියාව, තුර්කිය සහ ජෝර්දානයේ  ඓතිහාසික බලපෑම සහ අන්තවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම නිසා සමලිංගිකත්වයට එරෙහි නීති රීති නොමැත. එහෙත් ඉන්දුනීසියාව, නයිජීරියාව, සෝමාලියාව, ගැම්බියාව යන රටවල මුස්ලිම් ජනයා වෙසෙන ප්‍රාන්ත සඳහා පමණක් එම නීති ක්‍රියාත්මකවීමේ වෙනස්කම් දක්නට ලැබෙයි.ඉස්ලාමික ශරියා නීතිය දැඩිව ක්‍රියාත්මක වන මුස්ලිම් රටවල සමලිංගික ක්‍රියාවක් කිරීමට  ගැහැණු පිරිමි භේදයෙන් තොරව කස පහර සියයක් හෝ එල්ලාමැරීමෙන්,හිස ගසාදැමීමෙන් හෝ ගල්ගැසීමෙන් සිදුවන මරණ දඬුවමද ලැබේ.එම රටවල් වන්නේ ඉරානය, මොරිටානියාව, සෞදි අරාබිය, සුඩානය, යේමනය සහ නයිජීරියාව, ගැම්බියාව, සෝමාලියාව යන රටවල ප්‍රාන්තය. ඉරානයේ 1979දී විප්ලවයෙන් එතෙක් නීත්‍යානුකූලව තිබූ සමලිංගිකත්වයට එරෙහිව ශරියා නීතිය යටතේ මරණ දඬුවම පණවනු ලැබුණු අතර 1979 සිට මේදක්වා ඉරානයේ පමණක් සමලිංගිකයින් 4000කට අධික ප්‍රමාණයක් නීත්‍යානුකූලව මරාදමා ඇතැයි වාර්තා වේ.ඉරානයේ මෙම සිද්ධි ගැන වැඩිදුර තොරතුරු මෙතනින්.

1989දී ඩෙන්මාර්කයෙන් පටන්ගෙන අද වනවිට රටවල් 32ක පමණ සමලිංගික සබඳතා නීතිගත කොට ඇති අතර ඉන් රටවල් 11ක සමලිංගික විවාහය(same-sex marriage) නීතිගත කර ඇත.එම රටවල් වන්නේ ආජන්ටිනාව, බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, අයිස්ලන්තය, නෙදර්ලන්තය, නෝර්වේ, පෘතුගාලය, දකුණු අප්‍රිකාව, ස්පාඥ්ඥය සහ ස්වීඩනයයි. මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත හයක සහ මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි සහ ක්වින්ටනා රූ නගරවලද  සමලිංගික විවාහය නීතිගතකර ඇත.
පිරිමි දෙදෙනෙකු අතර සමලිංගික විවාහයක්
මෙවන් අනෙක් රටවල ඇත්තේ විවාහයට බොහෝ ලෙස සමාන හෝ එයට පහළින් ඇති නීතිගත සබඳතාවකි. එය නීතිගතකර ඇති ආකාරය අනුව සිවිල් සබඳතාව(Civil partnership), ගෘහස්ත සබඳතාව(Domestic Partnership), ලියාපදිංචි සබඳතාව(Registered partnership) ලෙස විවිධ නම්වලින් හඳුන්වනු ලැබේ.විවාහයකට බොහෝ සෙයින් සමාන සිවිල් සබඳතාව බහුතරයක් රටවල නීතිගත කර ඇත.කෙසේවෙතත් සමහර රටවල් විවාහය යන්න ගැහැණියක සහ මිනිසෙකු අතර සබඳතාවක් ලෙස අර්ථදක්වා සමලිංගික විවාහය වෙනුවට වෙනත් ඉහත ආකාරයේ සබඳතාවක්ද, සමහරක් රටවල් සහ ප්‍රාන්ත කිසිදු ආකාරයක සමලිංගික සබඳතාවකට එරෙහිවද නීති සම්මත කර ඇත.කෙසේවෙතත් විවාහ සමානතාව(marriage equality) පදනම් කරගනිමින් ප්‍රංශය, චිලී, පින්ලන්තය වැනි රටවල් සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳව සලකා බලමින් සිටී. සමලිංගික සබඳතා නීතිගතකර ඇති රටවල සමරිසි යුවලට දරුවන් හදාගැනීමට මෙන්ම ආරක්ෂණ නීතිද නීතිගත කර ඇත. මේ නිසා කලක් සමලිංගිකත්වය මහත් පිළිකුලෙන් හෙලා දැකි එම රටවල එය අද වනවිට සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත.

අද වනවිට සමරිසියන් සඳහා ලෝකයේ හොඳම නගර දහය මෙසේ නම් කළ හැකිය.ඇමරිකාවේ සැන් ප්‍රැන්සිස්කෝ සහ නිව්යෝක්,  ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, ග්‍රීසියේ මයිකොනොස්, ප්‍රංශයේ පැරිස්, ස්පාඥ්ඥයේ බාසිලෝනා, නෙදර්ලන්තයේ ඇමැස්ටර්ඩෑම්, එංගලන්තයේ ලන්ඩන්, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් සහ ජර්මනියේ බර්ලින්ය. මේ නගර වල සමරිසියන්ට ඉහළ සමානාත්මතාවක්  මෙන්ම ලෝකයේ වඩාත් ක්‍රියාකාරී සමරිසි සංස්කෘතියක් දැකගත හැකිය.කෙසේ වෙතත් ඉන්දියාවේ දිල්ලි, චීනයේ ෂැංහයි, ඊශ්‍රායලයේ ටෙල් අවිව්, දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්, කියුබාවේ හවානා ආදී නගරවලද මෙම සමානාත්මතාව වර්ධනය වෙනු වර්තමානයේ දක්නට හැකිය.

සමරිසියන්ට ලෝකයේ දරුණුම රටවල් පහ මෙසේ නම් කළ හැකිය.

සෞදි අරාබිය - සමලිංගිකත්වයට මරණ දඬුවම හෝ ඉඳහිට බරපතල කස පහරකට ලක්වේ.

ඉරානය -  සමලිංගිකත්වයට සිරගත කිරීම, ප්‍රසිද්ධියේ කසපහර දීමේ සිට ප්‍රසිද්ධියේ එල්ලා මැරීමකට ලක්වේ.

ජැමෙයිකාව -  සමරිසියන්ට ඇමරිකා කලාපය තුළ ඇති නරකම ස්ථානයයි. බරපතල වැඩ සහිතව අවුරුදු 10ක සිර දඬුවමකට ලක්කෙරේ.

ඇෆ්ඝනිස්ථානය - තලෙයිබාන් පාලනයෙන් ගෙන ආ මරණ දඬුවම වර්තමානයේ නිල වශයෙන් ක්‍රියාත්මක වන්නේ නැත. එහෙත් සමරිසියා හසුවන තැනැත්තා අනුව එය රඳා පවතියි.

නයිජීරියාව - සමලිංගිකත්වයට අවුරුදු හතරක සිරදඬුවමක සිට මරණ දඬුවම දක්වා දඬුවමක් පැනවිය හැක. සමරිසියන්ට සහයෝගය දක්වන ආකාරයෙන් ලිවීම හෝ කතාකිරීම පවා ඔබව සිරගත කිරීමට ප්‍රමාණවත්ය.

මේ දැක්වෙන්නේ වර්තමානය(2012 ජුලි) වනවිට ලොව පුරා සමලිංගිකත්වයට ඇති තැනයි. ලොව රටවලින් බහුතරයක සමලිංගිකත්වය නීත්‍යානුකූල බව ඔබට පෙනේවි.

2011 ජුනි 17 වනදින දකුණු අප්‍රිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් ගෙන් ලොව පුරා LGBT පුද්ගලයින්ට මානව හිමිකම් පිළිබඳව වියනා  ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමේ අරමුණින්  ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් කෙටුම්පත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළේය. එවන් ආකාරයේ වූ එම ප්‍රථම ඓතිහාසික යෝජනාව 23ට 19ක් ලෙස අනුමත වූ අතර වාර්තාව 2011 දෙසැම්බර් මාසයේදී එළිදැක්විණ. ලොව පුරා LGBT පුද්ගලයින්ගේ අයිතිවාසිකම් කඩවන ආකාරයේ ඔවුනට වන අපරාධ සහ වෙනස්කොට සැලකීම පිළිබඳ එහි ඇතුළත්ව තිබුණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනේදම් පිල්ලෙයි මෙනිසා සමලිංගිකත්වය සාපරාධීකරණය කරන නීති ඉවත්කර පුද්ගලයකුගේ ලිංගික දිශානතිය මත වෙනස්කොට සැලකීමට එරෙහිව නීති රැගෙන ඒමටත්, ඔවුන්ට සිදුවන අපරාධවලට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගෙන ඔවුනගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ක්‍රියාමාර්ග ගන්නැයි ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියාය.සමභීතිකාවට සහ අන්තර්භීතිකාවට එරෙහි අන්තර්ජාතික දිනය(International Day Against Homophobia and Transphobia) ලෙස මැයි 17ද, ජාතික එළියට ඒමේ දිනය(National Coming Out Day)ලෙස ඔක්තෝබර් 11දිනයද නම් කර ඇත. මේ අයුරින් අනාගතයේදී LGBT පුද්ගලයින්ට ලොව පුරා යහපත් කාලයක් උදාවනු ඇතැයි විශ්වාස කළ හැකිය.

Monday, August 6, 2012

සමලිංගිකත්වයේ ඉතිහාසය - 3




දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය තුළ කොමියුනිස්ට් විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණු අතර සමලිංගිකයින්ව අවමාන තර්ජනයට(blackmail) ලක්වේය යන පදනම මත ඔවුන්ව ජාතික ආරක්ෂාවට තර්ජනයක් සහ ඇමරිකානු නොවන පිරිසක් ලෙස සලකන්නට විය. ඒ අනුව 1947-1950 අතර කාලයේ රාජ්‍ය රැකියා අයදුම්පත් 1700ක් ප්‍රතික්ෂේප වීමත්, හමුදාවෙන් 4380ක් සහ රාජ්‍ය රැකියාවලින් 420ක් සමලිංගිකයින් ලෙස සැකකර සේවයෙන් නෙරපීමත් සිදුවිය.1950 සහ 60දශක පුරාවටම FBI ආයතනය සහ පොලිස් දෙපාර්තමේන්තු ඇමරිකාවේ හඳුනාගැනුණු සමලිංගිකයින්ගේ, ඔවුන්ගේ ප්‍රියස්ථාන සහ මිතුරන්ගේ විස්තර රහස්‍ය ලෙස ලයිස්තු ගත කල අතර ඇමරිකානු තැපැල් සේවයෙන් සමලිංගිකත්වයට සම්බන්ධ දේවල් තැපැල්කරන ලිපින හසුකරගත්තේය. පොලිසියෙන් සමලිංගිකයින්ට පහසුකම් සැපයූ බාර් වසාදමා ඒවායේ පාරිභෝගිකයින් අත් අඩංගුවට ගෙන පුවත්පත් හරහා ප්‍රසිද්ධ කළේය. මේ අසාධාරණත්වයට එරෙහිව ඇමරිකාවේ Mattachine Society සහ Daughters of Bilitis(DOB) වැනි සංවිධාන බිහිවී විවිධ විරෝධතා පැවැත්වුවද කිසිදු පලක් නොවීය.

ඇලන් ටියුරින්(1912-1954)
එංගලන්තයේ සමලිංගික චෝදනා හේතුවෙන් Lord Montagu, Micheael Pitt-Rivers, Peter Wildeblood වැනි ප්‍රසිද්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණි. අද පරිගණක විද්‍යාවේ පියා ලෙස හඳුන්වන ඇලන් ටියුරින්  1954දී සමලිංගික චෝදනා ලබා රසායනිකව වඳභාවයට පත්වීමට හෝ අවුරුදු 20ක සිරදඬුවමක් යන දෙකින් එකක් තෝරාගන්නා ලෙස නියෝග කෙරුණ අතර ඔහුව ලැබූ තනතුරුවලින්ද පහකර අපකීර්තියට පත් කරනු ලැබිණි. ඔහු පළමුවැන්න තෝරාගත්තේය. එහෙත් ඇතිවුණු මානසික පීඩාව හේතුවෙන් ඔහු සයනයිඩ් පෙවූ ඇපල් ගෙඩියක් කා අවාසනාවන්ත ලෙස සියදිවි නසාගත්තේය. ඒ වනවිට එංගලන්තය සහ වේල්සය තුළ සමලිංගික චෝදනා මත 1069 දෙනෙකු සිරගතකරනු ලැබ තිබුණි.

මේ අනුව එවකට සමලිංගිකත්වය නීතිවිරෝධී වූ විශේෂයෙන් ඇමරිකාව, එංගලන්තය වැනි රටවල දහස්ගණන් සමලිංගික කාන්තාවන් සහ පිරිමින් ප්‍රසිද්ධියේ අවමානයට, ශාරිරික වධහිංසන වලට, රැකියාවලින් ඉවතට, සිර ගතකිරීමට සහ මානසික රෝහල්වලට ඇතුල්කිරීම්වලට ලක්විය.මේ නිසා බොහෝ පිරිස් තමන්ගේ පෞද්ගලික ජීවිත වෘත්තීය ජීවිතයෙන් රහස්‍ය ලෙස ගෙවමින් දෙබිඩි ජීවිත ගතකළහ.

එංගලන්තයේ සිදුවූ මේ සිදුවීම් නිසා බ්‍රිතාන්‍ය රජය මගින් විද්වතුන් 15කින් සමන්විත කමිටුවක් සමලිංගික චෝදනා සහ ගණිකාවෘත්තිය පිළිබඳ වාර්තාවක් ලබාදීම සඳහා පත්කරනු ලැබුවේය. Wolfenden report යන නමින් 1957දී එම කමිටුවෙන් ඉදිරිපත් කරනු ලැබූ අවසන් වාර්තාවෙන් නිර්දේශ කරනු ලැබූවේ "එකිනෙකාගේ කැමැත්ත මත වැඩිහිටියන් දෙදෙනෙකු අතර සිදුවන සමලිංගික හැසිරීමක් තවදුරටත් සාපරාධී ක්‍රියාවක් නොවිය යුතුය යන්නය". ඒ වසරේම ඇමරිකානු මනෝ විද්‍යාඥ එවලින් හූකර් විසින් කරන ලද අධ්‍යයනයකින් පෙන්වාදෙනු ලැබුවේ සමලිංගික පිරිමින්ද සමලිංගික නොවන පිරිමින් මෙන්ම හොඳින් හැඩගැසී ඇතිබවය.

මේ ප්‍රවණතාව සහ දිගින් දිගටම සමලිංගිකයින් සිරගතකිරීමට එරෙහිව එල්ලවුණු විරෝධතා නිසා ඇමරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තය 1961දී , එංගලන්තය සහ වේල්සය 1967දී,  නැගෙනහිර ජර්මනිය 1968දී, බටහිර ජර්මනිය සහ කැනඩාව 1969දී ආදී වශයෙන් විවිධ රටවල් සමලිංගිකත්වය නිරපරාධීකරණය කළේය.  ඒ සමඟම ඒ රටවල සමලිංගික චෝදනා ලැබූවන් නිදොස් කොට නිදහස් කෙරුණි.

ස්ටෝන්වෝල් තානායම
සෙසු රටවල තත්ත්වය මෙසේ වුවත් ඇමරිකාව තුළ සමලිංගිකයින්ට එරෙහිව තවමත් මර්දනයක් දක්නට ලැබුණි. කෙසේ වෙතත් ඇමරිකාවේ ප්‍රධාන නගරවල සමලිංගිකයින් රහසේ එක්රැස්වුණු අතර හොරරහසේ ඉතා සූක්ෂමව සමලිංගිකයන් සඳහා වූ බාර් ක්‍රියාත්මක විය.පොලිසිය මගින් මෙවැනි ස්ථාන නිතරම වටලනු ලැබූ අතර එහි සිටියවුන් අත් අඩංගුවට ගැනිණි. කෙසේ වෙතත් 1969 ජූනි 28 වන දින නිව්යෝක් නගරය අසබඩ ග්‍රිනිච් ගම්මානයේ ස්ටෝන්වෝල් තානායම(Stonewall Inn) පොලිසිය මගින් වටලනු ලැබූ අවස්ථාවේදී පෙර නොවූ විරූ ලෙස බාර් එක තුළ සිටියවුන් ගල්මුල් වලින් පොලිසියට පහර දුන්හ. රැස්වුණු පිරිස පොලිස් අත්අඩංගුවට පත්වූවන් මුදාගත් අතර පොලිසියට පසුබැසීමට සිදුවිය. පසුව විශේෂ බලකායක් තත්ත්වය පාලනය කිරීමට ගියද පිරිස දෙගුණ වී "Gay Power!" යනුවෙන් කෑගසමින් ඔවුනටද ගල්මුල් එල්ලකළහ.මේ නිසා දෙපිරිස අතර දැඩි ගැටුමක් ඇතිවිය.මේ සිදුවීම වත්මන් ලිංගික විප්ලවයේ (sexual revolution) උපත ලෙස සලකනු ලැබේ. මේ ඓතිහාසික සිදුවීමෙන් පසු සමරිසි ප්‍රජාව එකතු වී නිව්යෝර්ක් නගර්යේදී සමලිංගික විමුක්ති පෙරමුණ(Gay Liberation Front-GLF) පිහිටුවාගත්තේය . තවද සමලිංගික ක්‍රියාකාරීන්ගේ සන්ධානය(Gay Activitists Alliance-GAA)  නම් සංවිධානයක්ද පිහිටුවාගැනුණු අතර සමලිංගිකයින් වෙනුවෙන් "Gay" නම් පුවත්පතක්ද ආරම්භ විණි.

දම් අත් සලකුණ
1969 ඔක්තෝබර් 31දින සැන්ප්‍රැන්සිස්කෝ නුවර San Francisco Examiner නම් පුවත්පත මගින් සමරිසියන්ට අපහාසවන අන්දමින් එහි පළකල ලිපිවලට එරෙහිව එම පුවත්පත් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවක් පැවැත්විණි.එහිදී එම කාර්යාලයෙන්ම කළ දම් පැහැති තීන්ත ප්‍රහාරය නිසා දම්පැහැ අත්සලකුණ සමලිංගික විමුක්ති ව්‍යාපාරයේ සලකුණ බවට පත්විය. පසුව  1970 ජුනි 28දින ස්ටෝන්වෝල් කැරලිවල පළමු සැමරුම නිව්යෝර්ක් නගරයේදී පළමු සමරිසි විමුක්ති දින පෙළපාලිය(Gay Liberation Day March) ලෙස පැවැත්වුණු අතර ලොස් ඇන්ජලිස් නුවර පළමු සමරිසි අභිමන් පෙලපාලිය( Pride Parade) පැවැත්විණි. මේ සමඟම බොහෝ බටහිර රටවල මෙවන් සංවිධාන සහ පෙළපාලි පැවැත්වීම ආරම්භ විය. මේ පෙළපාලිවලට වරින්වර පොලිසියෙන් බාධාද ඇතිවනු දක්නට ලැබිණි.වර්තමානයේද බොහෝ බටහිර රටවල එවන් අභිමන් පෙලපාලි ගමන් කරනු දක්නට ලැබෙයි.
1970 ජුනි 28 ගමන් කළ පළමු පෙළපාලිය


එකළ භාවිත වූ පෝස්ටරයක්
එවකට ඇමරිකාවේ පැවති කළු ජාතික ඇමරිකානුවන්ගේ සම අයිතිවාසිකම් දිනාගැනීමේ පෙරමුණු, ස්ත්‍රී අයිතිවාසිකම් පෙරමුණු සහ වියට්නාම් යුද විරෝධී පෙරමුණු සමඟ සමලිංගිකයින්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට නව ජීවයක් සහ ශක්තියක් ලැබිණි.1971 වන විට ඇමරිකාවේ සෑම ප්‍රධාන නගරයකම පාහේ සහ බටහිර සංස්කෘතිය ඇති රටවල මෙවන් අයිතිවාසිකම් කණ්ඩායම් දක්නට ලැබුණු අතර සමරිසියන්ට සමාජයට බියෙන් සැඟව නොසිට එළියට එන්නැයි මෙම පෙරමුණු වලින් බලකරනු ලැබිණි.සමලිංගිකයන්ද අනෙකුත් මිනිසුන් මෙන්ම මිනිස් කොටසක් බව පෙන්වාදී සමරිසියන්ට සමාජය තුළ තිබුණු සෘණාත්මක ආකල්පය වෙනස් කිරීමට මෙම පෙරමුණු මගින් විශාල උත්සාහයක් ගනු ලැබිණි. මේ සමඟම 70දශකය තුළ එතෙක් දෙබිඩි ජීවිත ගතකල සමරිසියන් පෙරනොවූ විරූ ලෙස ඇමරිකාවේ මෙන්ම මෙවන් පෙරමුණු ඇතිවුණු බටහිර රටවලද සමාජයේ එළියට එනු(coming out) දක්නට ලැබුණි. සමරිසියන් ඔවුන්ගේ නිවෙස්වලින් පිටව නගරබදව ඒකරාශීවනු දක්නට ලැබිණි.
1.1978දී ගිල්බට් බේකර් විසින් නිර්මානය කරන ලද තීරු අටක් ඇති පළමුව භාවිත කළ ධජය
2.රෙදිපිළි හිඟය මත 1978-1979 කාලයේ භාවිතාකළ ධජය
3.1979 සිට ජනප්‍රිය වූ වර්තමානයේ භාවිත වන තීරු හයකින් සමන්විත ධජය

ILGAහි ලාංඡනය
ඇමරිකානු මනෝවිද්‍යා සංගමය 1973දී සමලිංගිකත්වය මානසික ආබාධ ලයිස්තුවෙන් ඉවත්කරනු ලැබූ අතර ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල මෙන්ම බොහෝ යුරෝපානු රටවල සමලිංගිකත්වය නිරපරාධීකරණය වීම සිදුවිය. එහෙත් තවදුරටත් සමලිංගිකයින්ට එරෙහිව පැවැති කොන්කිරීම  සහ රැකියාවලින් ඉවත්කිරීමට එරෙහිව 1977දී සැන් ප්‍රැන්සිස්කෝ නුවර හාර්වි මිල්ක්(Harvey Milk) නැමැති සමරිසි දේශපාලනඥයා විසින් දැඩි උත්සාහයක් ගත්තේය. 1978දී අන්තර්ජාතික කාන්තා සහ පිරිමි සමරිසි සංගමය(ILGA- International Lesbian and Gay Association) පිහිටුවා ගැනුණු අතර සමරිසි අභිමන් ධජයක්ද(pride flag) නිර්මාණය කෙරිනි.දේදුන්නේ වර්ණ සහිත එම ධජය ඔසවනු ලබන්නේ රතු පැහැය ඉහළින් තිබෙන පරිදිය.එය පළමුවරට භාවිත කරන ලද්දේ 1978 ජුනි 25වන දින සැන්ප්‍රැන්සිස්කෝ නුවර පැවති පෙළපාලියකදීය.මෙම දේදුනු වර්ණයෙන් යුත් සැරසිලි, රෝස ත්‍රිකෝණය සහ ග්‍රීක ලැම්ඩා ලකුණ  එදා සිට අද දක්වාම අභිමන් පෙලපාලිවල දක්නට ලැබේ.කෙසේ වෙතත් මෙම විප්ලවයට එරෙහිව විවිධ කණ්ඩායම් අතින්ද විවිධ වැඩසටහන් දියත්වුණු අතර ඇනීටා බ්‍රයන්ට්(Anita Bryant)ගේ ප්‍රධානත්වයෙන් 1977දී ඇරඹි "Save our Children"වැඩසටහන නිසා සමරිසි අයිතිවාසිකම් පෙරමුණුවල පසුගාමිත්වයක්ද සිදුවුණු අතර සමලිංගිකයින් යැයි සැකපිට ගුරුවරුන් පාසලෙන් නෙරපීමක්ද සිදුවිය.

1974 සිට ලැම්ඩා ලකුණ සමරිසි
අයිතිවාසිකම් වල සංකේතය
ලෙස සලකනු ලැබේ
80දශකය තුළ දෙවන ලෝක යුද සමයේ මියගිය යුදෙව්වන් මෙන්ම සමලිංගිකයින් වෙනුවෙන්ද ස්මාරක යුරෝපයේ පිහිටුවනු ලැබුවේය. ඒඩ්ස් රෝගය පළමුවරට මත්ද්‍රව්‍ය භාවිතකරන්නන් සහ පිරිමි සමරිසියන් අතරින් හඳුනාගැනීමත් සමඟ එය සමලිංගිකයින්ට 'දෙවියන් විසින් දෙන ලද දඬුවමක්' ලෙස බටහිර සමාජය විසින් සලකන්නට විය. ඒ අතරම ඒඩ්ස් රෝගය 'සමරිසි රෝගයක්(gay disease)' ලෙස සමහරු සලකන්නට විය.  එහෙත් විද්‍යාඥයින් විසින් ඒඩ්ස් සමරිසියන්ගේ රෝගයක් නොවන බව නිගමනය කිරීම සහ විෂමලිංගිකයින්ට බහුලව ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමත් සමඟ සමලිංගිකත්වයට බටහිර ලෝකය තුළ පැවති ආකල්පය ධනාත්මක අතකට යොමුවන්නට විය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොවපුරා බටහිර යටත්විජිත ලෙස පැවැති රටවලට නිදහස ලැබුණු අතර ඒ අනුව සමහර රටවල් සමලිංගිකත්වයට එරෙහි නීතිරීති ඉවත් කලේය.අප්‍රිකාවේ ඇතැම් රටවල අද දක්වාම කතෝලික දහමේ බලපෑම මත තවමත් එම නීති පවතින නමුදු මුස්ලිම් රටවල් එම නීතිරීති තවත් දැඩිකලේය. වර්තමානයේ ඇතැම් අප්‍රිකානු සහ මධ්‍යම ඇමරිකානු රටවල කාන්තා සමලිංගිකත්වය නීත්‍යානුකූල නමුත් පිරිමි සමලිංගිකත්වය නීති විරෝධීය.
නාසින් අතින් පීඩාවට ලක්වුණු සමරිසියන් වෙනුවෙන් 1985දී නෙදර්ලන්තයේ
 ඉදිකල ස්මාරකයක්

90දශකයේ සිට ආසියාවේද සමරිසි අයිතිවාසිකම් සංවිධාන බිහිවීමේ ප්‍රතිඵලයක් ලෙස 1994දී පිලිපීනයේ පළමු ආසියා සමරිසි අභිමන් පෙළපාලිය පැවැත්විණි.එමෙන්ම සංක්‍රාන්තිලිංගිකයින් සහ අන්තර්ලිංගිකයින්ද මෙම පෙරමුණු වලට එක්වීය. ඔවුන් සියල්ල LGBT, LGBTQ, LGBTI(Lesbian,Gay,Bisexual,Transgender,Intersex,Questioning) ලෙස තනි නමකින් හැඳින්වීමද ඇරඹුනු අතර පහත දැක්වෙන සංකේතද භාවිත වන්නට පටන්ගත්තේය.අද වනවිට සංක්‍රාන්තිලිංගිකයින්ට ලිංගික වෙනස්කම් සිදුකිරීමේ සැත්කම්ද බටහිර වෛද්‍යවිද්‍යාවේ දියුණුව නිසා සිදුකර ගැනීමට හැකි අතර බොහෝ රටවල් එම ලිංගික වෙනස්වීම නීතියෙන් පිළිගනියි.
වමේ සිට පිළිවෙලින් Lesbian, Gay, Bisexual, Transgender සංකේත

1992දී ලෝක සෞඛ්‍ය සංවිධානය සමලිංගිකත්වය මානසික රෝග ලැයිසිතුවෙන් ඉවත්කළේය. ඒ සමඟ 1993දී රුසියාව, 2002දී චීනය, 2009දී ඉන්දියාව වැනි ලොව ප්‍රධාන රටවල් සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත්කිරීම ඉන් කැපී පෙනේ.2003 වනවිට ඇමරිකාවේ ප්‍රාන්ත සියල්ලේම සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත්කර තිබුණි. දෙවන ලෝක යුද්ධයෙන් පසු වර්තමානය දක්වා කාලය තුළ බොහොමයක් රටවල සමලිංගිකත්වය නිරපරාධීකරනය වුණු අතර සිදුවුණු ආකල්ප වෙනස මත අද වනවිට ඉන් නොනැවතී සමලිංගික සබඳතා නීති ගතකිරීමට, දරුවන් හදාගැනීමට දීමට පමණක් නොව පුද්ගලයෙකුට ඔහුගේ ලිංගික අනන්‍යතාවය සහ ලිංගික දිශානතිය මත හානි කිරීමට එරෙහිව නීතිගෙන ඒමද ඇතැම් රටවල් මගින් සිදුකර ඇත.2002දී ජර්මනිය නාසින් කළ ක්‍රියා වෙනුවෙන් සමරිසි ප්‍රජාවෙන් සමාව ඇයදීමත්, 2009දී බ්‍රිතාන්‍ය අගමැති ඇලන් ටියුරින්ට එල්ල කළ චෝදනා වලට සමාව ඉල්ලා සිටීමත් සමලිංගිකත්වයට වත්මන් බටහිර ලෝකය තුළ ඇති ස්ථානයට කදිම නිදසුනකි.

තවත් තොරතුරු ඊළඟ ලිපියෙන්....