Showing posts with label රිකී මාටින්. Show all posts
Showing posts with label රිකී මාටින්. Show all posts

Friday, June 15, 2012

රිකී මාටින් තමන් සමලිංගිකයෙකු විම ගැන කතාකරයි - 2


රිකීගේ පවුල
භාරකාර මවක් හරහා ලබාගත් නිවුන් දරුවන් දෙදෙනෙකු නිසා 2008 අගෝස්තු  6වන දින රිකී මාටින් පියෙකු බවට පත් විය. පිරිමි ළමුන් වුණු ඔවුන්ගේ නම් වන්නේ මටේයෝ සහ වැලන්ටීනෝ ය.
රිකී ඔවුන් පිළිබඳව අදහස් දක්වයි.

" මගේ දරුවෝ මට එළියට එන්න අවශ්‍ය ශක්තිය ලබා දුන්නා.  ඊටත් වඩා මට තවත් මේක දරාගන්න බැරි වුණා. ඒත් මට අන්තිම තල්ලුව ලබා දුන්නේ මගේ ළමයි. මම එයාලට ඇත්ත කිව්වේ නැත්නම් මම එයාලට බොරු කරන්න උගන්නන්නද?" . මට මගේ පවුල බොරුවක් මත ගොඩනැගෙන්න ඕනෙ නැහැ. මට එයාලට විනිවිද වෙන්න ඕනෙ. එයාලා එයාලගෙ තාත්තා ගැන ආඩම්බර වෙන්න ඕනෙ. එයාලා එයාලගෙ පවුල ගැන ආඩම්බර වෙන්න ඕනෙ".

1. ඔබ කොහොමද දැනගත්තේ ඔබට තාත්තා කෙනෙක් වෙන්න ඕනෙ කියලා?  

මම හිතන්නේ මට හැමවිටම තාත්තා කෙනෙක් වෙන්න ඕනෙ කළා. මට තාත්තාත් එක්ක ලස්සන සම්බන්ධයක් තිබුණා. ලස්සන මතකයන් තිබුණා. මම හැමවෙලාවෙම දැනගත්තා මට පවුලක් ඉඳීවි කියලා.


මේ ඔහු තම දරුවන් ගැන දැක්වූ අදහස්
රිකී ඔහුගේ නිවුන් දරුවන් සමඟ
"මම තාත්තා කෙනෙක් වෙන්න කලින් කවදාවත් උදේ 10ට කලින් නැගිටලා තිබුනේ නැහැ.  මම එයාලට ස්පාඥඥ , ඉංග්‍රීසිවලින් කතා කරනවා. එතකොට එයාලට තේරේවි. උදේ කෑමෙන් පස්සේ ඇඳුම් මාරු කරනවා. එයාලා ටීවි බලනවා. එයාලා යුෂ බොනවා. සාමාන්‍යයෙන් මම ම තමයි මේක කරන්න ඕනෙ. මේක මගෙ ජීවිතේ කොටසක්."

"වැලන්ටිනෝ හරිම හොඳ ළමයෙක්. එයා හැමදේම බෙදා ගන්නවා. එයා අනිත් අයව ඉස්සරහට දානවා.මම හිතන්නේ ඒක හරි හොඳ ගුණයක්. මටේයෝ හරිම සුහද ළමයෙක්. එයා පෙරට යන ළමයෙක්. එයා එයාගෙ සහෝදරයව බලාගන්නවා. එයා තමයි පටන් අරගෙන ප්‍රශ්න අහන්නේ.එයා පොත් වලට ආසයි."
රිකී ඔහුගේ නිවුන් දරුවන් සමඟ
"මට ඕනෙ එයාලා වයස අවුරුදු 15ක් 16ක් වුණාම කියන්න තාත්තේ ඔයා හැමදාම අපිත් එක්ක හිටියා කියලා. එයාලා මගේ ජීවිතයට ගෙනාපු සරල බව තමයි වැදගත්. පහුගිය අවුරුදු 15, 20 පුරාවටම මම ලෝකෙ තියෙන වඩාත්ම මිල අධික, සැපපහසු හෝටල්වල හිටියා. පුද්ගලික ජෙට්, ලීමෝ කාර් වල ගියා. ඒත් ඒක නෙමෙයි වැදගත්. වැදගත් වෙන්නේ අපි එකිනෙකාගේ ඇස් දිහා බලන් ඉන්නකොට අපි එකිනෙකාට බැඳිලා. අපිට හරි පහසුවක් දැනෙනවා. අපි තුන්දෙනා එකතුවෙලා හරිම අපූරු ආදරයක්, ශක්තියක් ගොඩනඟනවා. ඒක තමයි සරල. ඉතින් ඒක මට දෙන්නේ මගේ ළමයි, මම තාත්තා කෙනෙක් වෙලා ඉන්නකොට".

2. අපි ක්‍රියාවලිය ගැන කතාකරමු. ඔබ තීරණය කළා පියෙක් වෙන්න. ඔබට ඕනෙ කළා ඔබේ ශුක්‍රාණු තවත් දායක මවකගෙන් ලබාගත් ඩිම්බ සමඟ වෙනත් භාරකාර මවකගේ තැන්පත් කරන්න.

මට ඒක හරියට කරන්න ඕනෙ වුණා. මම ඒක ඒජන්සියක් හරහා නීතීඥයින් මාර්ගයෙන් කළේ හැම දේම හරියට වුණා කියලා සහතික කරගන්න.

3.කවුරුවත් දැනගෙන හිටියේ නැද්ද ඒ ඔබයි කියලා?

දරුවෙක් හදාගන්න විවෘතව හෝ පුද්ගලිකව හෝ පුළුවන් වගේ මේකත් ඒ දෙවිදිහටම කරන්න පුළුවන්. නීතීඥයා කිව්වේ භාරකාර මව මේක පුද්ගලිකව කරන්නෙ කියලා. මේක හරිම බහුලයි.කිසිදෙයක් වැරදියට වෙන්නේ නැහැ.මේකෙ විදිහත් එහෙමයි කියලා. සමහර භාරකාර මව්වරු මේකට කැමතියි.මගේ දරුවනුත් ආවෙ එහෙමයි. එයා විවාහක කාන්තාවක්. එයාට ඕනෙ කළා මේක සරලව කරලා ජීවිතෙ ඉස්සරහට යන්න.
මම මගේ දරුවන්ව තියන්නේ කාගාවද කියලා හොයද්දී මම ඈට දුරකථනය හරහා කතාකළා. මම ඇහුවා " ඇයි ඔබ මේක කරන්නේ?" කියලා. ඇය කිව්වා " මම බොහොම ආධ්‍යාත්මික ගැහැණියක්.මට කවදාවත් දෙවියන් වහන්සේ සමඟ කිට්ටු බවක් දැනිලා නැහැ, මට ජීවිතයේ තෑග්ග ඒක කරන්න බැරි වෙන කෙනෙකුට දෙන මොහොතෙදි තරම්.". ඉතින් මම කිව්වා "ඔබ තමයි නියම කෙනා" කියලා.(ප්‍රේක්ෂකාගාරය සිනාසෙයි)

4.ඔබ දැනගෙන හිටියාද ඩිම්බ ලබාදුන්නු දායක කාන්තාව මොනවගේද කියලා? කොහොමද ඇයවම තෝරගත්තේ?

ඔව් ඇත්තෙන්ම(සිනාසෙමින්) . මම ඉතින් පැය ගාණක් තිස්සේ පොත බලාගෙන තේරුවා. ඒත් මට තෝරපු කෙනාගෙ ඇස් සහ හිනාවෙ යම් දෙයක් දැනුණා. ඉතින් මම එයාගෙ විස්තර එයාගෙ පාසල, ලියුම හැම දෙයක්ම බැලුවා.

5.ඉතින් එයා බොහොම හැඩ දක්ෂ කෙල්ලක්.

ඔව්. එයා හරි ලස්සනයි. දක්ෂයි(සිනාසෙමින්)

6.ඔබට මතකද ඔවුන් ඉපදුණු දවස?ඔබ කොහෙද මොනවද කරකර හිටියේ?

මම ගෙදර කෝල් එක එනකම් බලාගෙන හිටියේ. දැන් එයි. දැන් එයි කියලා. ඔව් ටිකක කලබල ගතියකින් හිටියේ. ඉතින් මට කෝල් එක ආවා" ඔයා අද තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ කියලා".ඉතින් මම කාර් එක එලවගෙන රෝහලට ගියා.මම ප්‍රසූති කාමරයේ නෙමෙයි හිටියේ ඊට යාබද වෙනත් කාමරයක.මට ඇහුනා පළවෙනි ඇඬීම.

7.එතකොට දැනුණු හැඟීම මොනවගේද?

මට එයාලව වඩාගන්න ඕනෙ කරන ලොකු හැඟීමක් ඇති වුණා. ඉතින් නර්ස් මට ළමයි ගෙනත් දුන්නා.මම එයාලව අත්දෙකට ගත්තා. මට හරි අදහාගන්න බැරි පුදුම විදිහට ඒක දැනුණා. දෙවියන් වහන්සේ ඉන්නවා වගේ දැනුණා. මේක මහා ආශ්චර්යයක්. ඒ වගේම එයාලා මං වගේ.
මටේයෝ සහ වැලන්ටීනෝ
8.ඉතින් ඔබ දරුවන් ගෙනාවහම ඔබට සියලු දේ ඔබ අතින්ම කරන්න ඔබට ඕනෑ වුණා? ඒ වෙනුවෙන්ම කැප වෙලා. ඒක කොච්චර කල් තිබ්බද? 

සති හතක්(සිනාසෙමින්).සති හතක් නිදාගන්නේ නැතුව හිටියේ.මම තනියෙන් ඉන්නකොට නිදිමතේ වැනෙනවා.

9.ඔබට මේ හරහා මේක කරන පළමුව ඔබේ මවටත්, ලෝකෙ ඉන්න අනික් මව්වරු ගැනත් ලොකු ගෞරවයක් දැනුණාද?

අදහාගන්නත් බැහැ. ලොකු ගෞරවයක්. ඒක අමාරුයි. පේන හැටියට ඒක එන්න එන්නම අමාරු වෙනවා..(ප්‍රේක්ෂකාගාරය සිනාසෙයි)

10.ඔබ ඔවුන්ගෙන් රාත්‍රී දෙකකට වඩා වෙන්වී හිටියේ නැහැ.

ඔව්. රාත්‍රී දෙකකට වඩා නැහැ. එයාලා පළවෙනි වරට ඇවිදිද්දි මාත් එක්ක පාරෙ ඇවිද්දා.

11.ඔවුන්ගේ ජීව විද්‍යාත්මක මව ගැන ඔබ මොකක්ද ළමයින්ට කියන්නේ?

මම එතනට තාම ඇවිත් නැහැ. එයාලා මගෙන් අහයි. මම එයාලට කියාවි මට ඕනෙ ඔයාලා මගේ ජීවිතය වෙන්න. දෙවියන් වහන්සේගේ උදව ඇතුව මට පුළුවන් වුණා ඔයාලා මගේ ජීවිතයේ කොටසක් කරගන්න. මම ඒකෙන් තමයි පටන් ගන්නේ. මම හිතන්නේ පවුලක් ගොඩනැගිලා තියෙන්නේ ආදරය මත. එතකොට අපි, මම ඔයාට ආදරෙයි. ඔයා මට ආදරෙයි.ඒක තමයි වැදගත්ම දේ.හැම පවුලක්ම එක සමාන නැහැ. හැම පවුලක්ම වෙනස්. අම්මයි තාත්තයි ඉන්න පවුල් ඉන්නවා. අම්මලා දෙන්නෙක් ඉන්න, තාත්තලා දෙන්නෙක් ඉන්න, එක අම්මෙක්. එක තාත්තෙක් ඉන්න පවුල් ඉන්නවා. මම තමයි අම්මා. මම තමයි තාත්තා. මම මගේ උපරිමය කරනවා. ඔයාලා ආඩම්බර වෙලා ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ, මට තම්යි අපූරුම පවුල තියෙන්නේ කියලා.මම නවීන පවුලක කොටසක් කියලා.

12. ඔබ කියලා තියෙනවා ඔවුන්ට ඔවුන්ගේ අම්මා බලන්න ඕනෙ කිව්වහම ඔබ ඔවුන්ට කියනවා කියලා" ඔයා ඇය දිහා තමයි බලන් ඉන්නේ" කියලා.( රිකී ඇතුළු ප්‍රේක්ෂකාගාරය සිනාසෙයි)

"මට මගේ අම්මා මුණගැහෙන්න ඕනෙ"කියලා කිව්වහම මම කියනවා"ඔව්.හමුවීම සතුටක්".

රිකීගේ එළියට ඒම ගැන අනෙකුත් සමරිසියන් විසින් දක්වන ලද අදහස් කීපයක්.

"මම ගෙදර හිටියේ  බ්‍රසීලයේ ඉන්න මගේ අම්මා බලන්න. අපි ප්‍රවෘත්ති බලමින් හිටියේ. එතකොට කිව්වා පොප් ගායක රිකී මාටින් සමරිසියෙක් බව ඔහු විසින් කියලයි කියලා. මම අම්මගෙන් ඇහුවා "මමත් සමරිසි නම් අම්මා මොකද කරන්නේ කියලා?". අම්මා කිව්වා" මම ඔයාට වෙනදා විදිහටම ආදරේ කරයි" කියලා. මම ඒ මොහොත එනකම් මගේ මුළු ජීව්තේම බලන් හිටියා."

"ඔහු එළියට ආවහම මම මා ගැන හිතන විදිහ සම්පූර්නයෙන් වෙනස් වුණා.මම ඔහුට ස්තූති කරන්න ඕනෙ ඔහුට ඒක කරන්න ධෛර්යය තිබීමත් ඒ නිසා මගේ වෙනස් වීම ගැනත්"

"මම එළියට ආවේ 1992දී ඒත් මගේ අම්මා මගේ පුද්ගලික ජීවිතය ගැන වැඩි ප්‍රශ්න ඇහුවේ නැහැ.ඒත් හැමෝගෙම ආදරය ලබන සුප්‍රසිද්ධ රිකී මාටින් එළියට ආවාහම ඒක බලකළා මගේ අම්මට මගේ පුද්ගලික ජීවිතය ගැන ප්‍රශ්න අහන්න. මට ඒකෙන් පළමුවරට මගෙ අම්මත් එක්ක කවදාවත් නොදැනුණු තරම් බැඳීමක් දැනුණා. ඔබේ අම්මා ඔබව සම්පූර්ණයෙන් පිළිගත්තහම ඔබ කවුද කියලා, ඔබට සම්පූර්ණයෙන්ම ඔබව දැනෙනවා. මට අන්තිමේදි සම්පූර්නයෙන්ම විශ්වාසයක් සහ මිනිහෙක් වගේ දැනෙනවා.ඊට වඩා අඩුවෙන් දැනෙන්නේ නැහැ"

"රිකී මාටින් වගේ ප්‍රසිද්ධ කෙනෙක් එළියට ආවාහම, අපිටනම් ලතින් ඇමරිකානු කෙනෙක් එළියට ආවහම, ඒක හැමදේම වෙනස් කළා. දැන් අපි අතරින් කෙනෙක් එළියට ආවහම කලින්ට වඩා පිළිගැනීමක් තියෙනවා. ඔහු අපි වගේ අනික් අයට අවශ්‍ය මාවත හැදුවා."

"මට මේ දැනෙන හිතේ සතුට සහ සාමය ගැන දැන සිටියා නම් මම මීට අවුරුදු 10කට කලින් ඒක කරනවා. ඒත් හැමෝම යන්නේ තමාගෙම කියලා ගමනක, ඒක මගේ කාලය වුනේ නැහැ."යනුවෙන් රිකී ඒ පිළිබඳ අදහස් දැක්වීය.

13. ඔබ මේ පොතේ අන්තිමට ලියලා තිබ්බ ඡේදය කියවනවාද, ඔබේ ළමයින්ට දැනෙන්න ඕනෙ විදිහ ගැන?

මම දැන් සම්පූර්ණයි. මගේ පවුලට, මගේ යහළුවන්ට සහ මගේ පෙම්වතාට  මම කවුද කියන එක නියම විදිහට දෙන්න මම සූදානම්.  මට ඕනෙ මේ පොත මගේ ළමයි  විසින් යම් දවසක කියවලා  මම ඔවුන්ගේ පියා වීමේ සතුට විඳින ආධ්‍යාත්මික සංචාරය දැනගන්න. මට ඕනෙ මගේ හදවත සම්පූර්ණයෙන්ම එයාලට විවෘත කරන්න.  ඒ නිසා අනිවාර්යයෙන්ම අනාගතයේදී ඔවුනුත් ඒ දෙයම කරන්න කවදාවත් බිය වෙන එකක් නැහැ.

රිකී ඔහුට වයස අවුරුදු 13දී කළ රූපවාහිනී හමුවකුත් ඔහු විසින් එලිදක්වන ලද නවතම ගීතයත් වැඩසටහනේදි ඉදිරිපත් කරන ලදී.

Tuesday, June 12, 2012

රිකී මාටින් තමන් සමලිංගිකයෙකු වීම ගැන කතා කරයි - 1



රිකී මාටින්
රිකී මාටින් යනු සිත් බඳිනා හඬත්, ආකර්ෂණීය රංගනයත්, කඩවසම් පෙනුමත් නිසා ලොව පුරා ගීත රසික රසිකාවියන්ගේ හිත් බැඳගත් ලෝක ප්‍රසිද්ධ ස්පාඥඥ සහ ඉංග්‍රීසි පොප් ගායකයෙකි. වයස අවුරුදු 12 පටන් මෙනූඩෝ සංගීත කණ්ඩායම හරහා ගීත ගායනය ඇරඹි රිකී, 1999 දී ග්රැමී සම්මානය දිනා ගනිමින් ප්‍රසිද්ධියට පත්වීය.
ඉන්පසු ඔහු විසින් ඉදිරිපත් කළ Livin' La-Vida Loca ඇල්බමය හරහා ඔහු ලෝක ප්‍රසිද්ධියට පත්වූ අතර දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ඉදිරියේ ලොව පුරා ප්‍රසංග ඉදිරිපත්කරමින් මුළු ලොවක් සංගීතයෙන් වසඟයට පත් කළේය. ජනප්‍රිය සඟරාවල මුල් කවරය ඔහුගේ රුවින් සැරසුනේය. ඔහුගේ මුළු සංගීත දිවිය පුරාම සුන්දර තරුණියන් වේදිකාවෙත් ඉන් පිටතත් ඔහුව පිරිවරාගත් නමුදු ඔහුගේ ලිංගිකත්වය පිළිබඳ කටකතා පැතිර යාමෙහි අඩුවක් නොවීය.
2010  මාර්තු 29 දින ඒ සියලු කටකතා නිමාවට පත් කරමින් ඔහු සිය වෙබ් අඩවියේ මෙසේ ලියා පළ කළේය.

" මා වාසනාවන්ත සමලිංගික මිනිසෙකි.  මා මාම වීමට තරම් භාග්‍යවන්ත වී ඇත."

ඉන්පසු ඔහු 'ME' නමින් තම ජීවිතය පිළිබඳ ස්වයං චරිතාපදානයක් එළි දැක්වීය.පහත දැක්වෙන්නේ තමා සමරිසියෙකු බව හෙළිකිරීමෙන් පසු පවත්වන ඔහු පෙනී සිටි පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවයි.  Oprah Winfery Show නම් එම ජනප්‍රිය ඇමරිකානු රූපවාහිනී වැඩසටහන තුළදී ඔහු විසින් සමරිසියෙකු ලෙස දක්වන ලද අදහස් ඔබේ ලිංගිකත්වය කුමක්වුවත් ඔබ ඇසිය යුතු යැයි මම විශ්වාස කරමි. විශේෂයෙන්ම සමරිසියන්ට ඔහුගෙන් ආදර්ශයට ගතහැකි දේවල් බොහොමයක් ඇති බව කිව යුතුය.

විනෝදයෙන්ද පිරි එම වැඩසටහන පහත වීඩියෝවෙන් බලන්න. ඔහු තමා පිළිබඳව දැඩි ආත්ම විශ්වාසයකින් කතා කරන බවක් ඔබට පෙනේවි.


පසුව Access holywood රූපවාහිනී වැඩසටහන හරහාද ඔහු දැක්වූ අදහස් මෙම වීඩියෝවෙන් බලන්න.


පහත දැක්වෙන්නේ ඔහුගෙන් අසන ලද සමහරක් ප්‍රශ්නවලට ඔහු විසින් ලබාදෙන ලද පිළිතුරු ය.වැඩසටහන් දෙකේදීම අසන ලද ප්‍රශ්න සහ ඒවාට ලබා දුන් පිළිතුරු මුසු කොට ඇති බව සලකන්න.
රිකී සම්මුඛ සාකච්ඡාවේදී
1.අවුරුදු ගණනක් මේ ගැන වසන් කරලා ඇයි එදා එහෙම වෙබ් අඩවියේ පළ කළේ?


මට තවත් මේක දරාගන්න බැරිවුනා. ඇත්තෙන්ම ඒක හරිම වේදනාකාරීයි. ඒත් වැදගත්ම දේ වුනේ මගේ ළමයි.මම එයාලව මගෙ අත් දෙකෙන් වඩාගෙන ඉන්නකොට මම කොහොමද එයාලට බොරු කරන්න උගන්නන්නේ කියලා හිතුනා. මම තාත්තා කෙනෙක් වෙන්න ඉස්සෙල්ලාම මම කවුද කියන එක මම පිළිගත්තා. මම කවුද කියන එක ගැන මම සතුටු වුණා.  මම ළමයි වඩාගෙන ඉන්නකොට මට හිතුනා මේක තමයි මම ගැන ලෝකෙට කියන්න තියෙන වෙලාව කියලා.

2. ඒ ගැන ලියලා ඊමේල් කලාට පස්සේ මොනවගේද දැනුනේ?

මට මම පණ නැතිවුණාවගේ දැනුනා.(සිනාසෙමින්)

3.ඒ ගැන ඔබ බය වුනාද?

නැහැ. ඇත්තෙන්ම මට ලොකු නිදහසක් දැනුනා.  මම එතකොට ස්ටුඩියෝ එකේ හිටියේ , එතකොට මගේ සහයකයා ආවා. මම පොඩි දරුවෙක් වගේ අඬන්න ගත්තා. ඒත් ඔහු මගෙ අත් දෙකෙන් අල්ලගෙන " ඒකට යන්න දෙන්න. අන්තිමේදි ඔයා නිදහස් වුණා" කියලා කිව්වා.

4. ඇයි ඔබ ඇඬුවේ?
රිකී කදුළු සමඟ සටන් කරමින්
මොකද මට දැනුනා මම නිදහස් වුණා කියලා. මම විමුක්තියක් ලැබුවා කියලා. මට දැනුනා මට අන්තිමේදි කියන්න පුළුවන් කියලා මම මට සම්පූර්නයෙන්ම ගොඩක් ආදරෙයි කියලා.(ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොලසන් නාදයක්).  මම අවුරුදු ගණනක් තිස්සේ ලෝකෙට වෙනම කෙනෙක් වගේ මවා පෑවා. මොකද මම හැදී වැඩුණ හැටි නිසා , බොහොම ගතානුගතික ලෝකයක. බොහොම ගතානුගතික සංස්කෘතියක.

5. ඔබ ආගම දහමට ලැදිද?


 ඇත්තෙන්ම ඔව්. ඒත් අවාසනාවකට වගේ මගේ ආගම කිව්වෙ මගේ හැඟීම් වැරදියි කියලයි. පිරිමින්ට මගේ තියෙන හැඟීම්, ආකර්ෂණය වැරදියි කියලයි.මගේ ආගමේ මිනිසුන් විසින් සකස් කරන ලද නීති වලට අනුව සමලිංගික වීම දුෂ්ට කමක්, පාපයක් ( බයිබලයට අනුව සමලිංගිකත්වය පාපයකි)

6.ඔබට ඔබ සමරිසියෙක් කියා හැමවිටම දැනුණාද? 
රිකී කුඩා කාලයේදී
ඇත්තෙන්ම ඔව්. මට හැමවෙලාවකම ආකර්ෂණයක් දැනුණා. වයස අවුරුදු 4දි 5දි ඉඳලම මට දැනුණා.මට යම් දෙයක් දැනුණා. ඒ රසායනය දැනුණා.ඒත් හැමෝම කියන්නෙ ඔබට දැනිය යුතු දෙය ඒක නෙමෙයි කියලයි.  මම පාසලට ගිහිල්ලා ආපු පලමු දවසෙදිම හැමෝම මගෙන් ඇහුවෙ ඔයාට ගෑණු යාළුවො කී දෙනෙක් ඉන්නවද කියලයි.ඔබ දන්නවා ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඒත් මම දීපු උත්තරය වුනේ " මොකක්, මට තේරෙන්නෙ නෑ මොනවද ඔයා කියන්නෙ කියලා".
යොවුන් වයසෙදි මම තමයි කෙල්ලක් නැතුව හිටියා එකම කෙනා. මගෙන් යාළුවො අහනවා "දැන් කාලෙ හරි කෙල්ලෙක් දාගන්න" කියලා. ඒත් මට කියාගන්න දෙයක් නැතුව හිටියේ. මම මොනවා කියන්නද? හරිම කෙල්ල හම්බෙනකම් ඉන්න ඕනෙ වගේ කියලයි හිටියේ.

7. 2000 වසරේදී තිබ්බ කටකතා අනුව මාධ්‍යවේදී බාබරා වෝල්ට්ස් කෙලින්ම ඇසුවා ඔබෙන් "මේ කටකතා නවත්වන්න ඔබට පුළුවන්. ඔබ සමරිසිද? නැද්ද?" කියලා. ඒත් ඔබ දුන්නු පිළිතුර වුනේ "මම හිතන්නෙ නෑ මම සමරිසිද? නැද්ද? මම කා එක්කද නිදාගෙන තියෙන්නෙ කියලා කාටවත් කිව යුතුයි කියලා". ඒ ගැන අහද්දි ඔබට කොහොමද දැනුණෙ?.ඔබ ලියූ ස්වයං චරිතාපදානයේ කියලා තියෙනවා ඒ මොහොතෙදි හැමදේම බොඳවෙලා ගියා කියලා.නිකන් ලොකු පාරක් ඔළුවට ගැහුවා වගේ දැනුනා කියලා.
2000දී බාබරා වෝල්ට්ස් සමඟ
ඉස්සෙල්ලාම කියන්න ඕනෙ මට ඇය ගැන ලොකු ගෞරවයක් තිබුණා.ඇය ඉතා හොඳ මාධ්‍යවේදිනියක්. ඇය කරමින් හිටියෙ ඇගේ රස්සාව. ඇත්තෙන්ම මට දැනුණෙ මට ඈ දිගින් දිගටම ගහනවා වගේ.මට තිබුණා මේ වගේ දේවල් වලට කියන්න හදාගත්ත දෙයක්. "මම හිතන්නෙ නෑ මම මේ ගැන කතා කළ යුතුයි කියලා.   මේක පෞද්ගලික දෙයක්. මම හැමදේම වේදිකාව මත කරනවා. මම මිනිස්සුන්ට කියන්න ඕනෙද මම ඇඳට යන්නේ කා එක්කද "වගේ දෙයක් මම කියන්න පුරුදු වෙලා හිටියා.
මම තවමත් විශ්වාස කරනවා ඕනෑම පුද්ගලයෙකුට තමන්ටම කියලා පෞද්ගලිකත්වයක් තිබිය යුතුයි කියල. ඒත් ඇය අහගෙන අහගෙන ගියා. ඈත්තෙන්ම මම ඒවෙනකොට ලෑස්ති වෙලා හිටියේ නෑ . ඒක මගෙ මොහොත නොවෙයි.

8. ඒ සම්මුඛ සාකච්ඡාවෙන් පස්සෙ ඔබට ලජ්ජාවක් අසහනයක් වගේ දැනුණද?


මට තරහක් දැනුණා පස්සෙ. මට දැනුණා මාව ආක්‍රමණය කරලා වගේ. මේක මෙහෙම අහපු පළවෙනි වතාව නෙමෙයි. ඒත් මේක ලොකු රූපවාහිනී වැඩසටහනක්, ඔස්කාර් උළෙලට කලින් තිබ්බ prime time oscar එකක්. ඉතින් ඒක ඊට පස්සේ ආපු හැම මාධ්‍යවේදියෙකුටම අයිතියක් ලබා දුන්නා ඒ ප්‍රශ්නය අහන්න.හරියට නිකං මටයි එයා ඒ ගැන කියන්නෙ වගේ.එතකොට මම කිව්වෙ මම බාබරා වෝල්ට්ස්ට කිව්වෙ නැත්නම් ඔබට කියයිද වගේ දෙයක්. ඒත් මම ලෑස්තිද මම ගැන ලෝකෙට කියන්න?. සමහරවිට මම කවුද කියල මම ම හරියට දැනගෙන හිටියේ නැතිවෙන්න පුළුවන්.

9.ඔබේ පොතේ කියල තියෙන ආකාරයට නිතරම අහපු මෙම සමරිසි ප්‍රශ්නය නිසා ඔබව ඇත්තටම සත්‍යයෙන් ඈතට අරන්ගියා.

මොකද සමලිංගිකත්වය බොහොම අපකීර්තිමත් විදිහටයි සලකනු ලැබුවේ. මිනිස්සු මගේ ලිංගිකත්වය දිහා සමච්චලයෙන් බලන්න පුරුදු වෙලා හිටියා.මම හිතුවෙ මට එහෙම වෙන්න ඕනෙ නැහැ. ඒ මමද?මට මාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනෙ වුනා.ඔබට කියන්න මම හිතන්නෙ මම මටම වෛර කළා. එහෙමයි ඔබට හිතෙන්නෙ. ඒකයි මම බලකරලම කියන්නේ කවුරුවත් එළියට එන්න ලෑස්ති නැතිනම් එයාට ඒකට බලකරන්න එපා කියලා. දැන් අපිට හමුවෙනවා පුද්ගලයින් සමරිසි බව නිසා සමාජයෙන් හිරිහැර විඳින.ඒ වගේම අපිට හමුවෙනවා එළියට එන්න බලකරන නිසා සියදිවි හානි කරගන්න පුද්ගලයින් ගැන. ඒක බොහොම දරුණුයි. ඔබ ලෑස්තිවුණාම ඔබ බොහොම ආධ්‍යාත්මික ක්‍රියාවලියකට මුහුණ දෙන්න ඕනෙ. ඊට පස්සේ ඔබට ඒක පුදුමාකාර විදියට දැනෙනවා..(ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොලසන් නාදයක්)

10. ඔබ මේ බව ලෝකෙට කියන්න කලින් දෙමාපියන්ට කියලයි තිබුණේ. එතකොට ඔබ පිරිමියෙක් එක්ක පළවෙනි වරට ආදරයෙන් බැඳිලා අතිශයින් කණගාටුවට පත් වෙලයි හිටියේ.ඒ ගැන කිව්වොත්?

ඔව් මම පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳිලා හිටියෙ ඒ වගේම මට හැමදේම අතහරින්න ඕනෙ වුණා.මම ඔහුට කිව්වා.අපි වෙනකොහාට හරි ගිහින් ජීවත් වෙමු. අපි යුරෝපයට යමු. ආසියාවට යමු.මම මගේ සංගීත ජීවිතය අතහරින්න ලෑස්ති වෙලයි හිටියේ.මොකද මම හැමෝටම කියන්න ලෑස්ති වෙලා නෙමෙයි හිටියේ. මට පුදුම විදිහට ඒ ආදරය දැනුණා. එතකොට ඔහු කිව්වා අපි මේක කරන්න ඕනෙ නැහැ කියලා.
ඔබේ ජීවිතයේ ඉදිරි ගමන පැහැදිලියි. ඔබට මිනිස්සු ගොඩක් ආදරෙයි.මට ඒකට බරක් වෙන්න බෑ. අපි දෙන්නා අතර මොකක් හරි වරදක් වුණොත් ඔබ ඒ ගැන මට දොස් කියයි. එහෙමයි ඔහු කිව්වෙ. මේවා හරි ලස්සන වචන. සමහර විට මම ඔහුට ආදරේ තරම් ඔහු මට ආදරේ නැතිවෙන්න ඇති. ඒත් මම කිව්වා මට තේරෙනවා.ඔබට මාත් එක්ක ඉන්න ඕනෙ නැහැ.
මගෙ හදවත කැඩිලා මම ගොඩක් දුකින් හිටියෙ. පස්සෙ අම්මා මගෙන් ඇහුවා."මගෙ පුතේ ඔයා කා එක්ක හරි ආදරෙන්ද ඉන්නේ" කියලා. මම කිව්වා "ඔව් අම්මේ" කියලා. "ඒ පිරිමියෙක් එක්කද?"."ඔව් අම්මෙ පිරිමියෙක් එක්ක". අම්මා කිව්වා." මං ඔයාට ආදරෙයි. වද වෙන්න එපා. එන්න.මාව බදාගන්න.මම හැම වෙලාවකම ඔයත් එක්ක ඉන්නවා"කියලා.(ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොලසන් නාදයක්)
රිකී කුඩා කළ මව සමඟ
11. මේකද අම්මත් එක්ක ඔබේ ලිංගිකත්වය, පිරිමින්ට තියෙන ආකර්ෂණය ගැන ඇතිවුණු පළමු කතාබහ?

ඔව්. මේක වුණේ මට හුඟ කාලෙකට කලින්. මට එතකොට අවුරුදු 20ක් 21ක් විතර ඇති. පස්සේ ඈ මට කිව්වා හැම දේම හරියාවි. පස්සේ ඈට විනාඩියක් විතර ගියා තේරුම් ගන්න. පස්සේ ඈ ගොඩක් ඇඬුවා. මගෙ පුතාට මොකක් වෙයිද? එයාගෙ සංගීත ජීවිතයට මොකක් වෙයිද? කියලා. අවාසනාවකට වගේ ඒ කාලෙ මිනිස්සු ලෑස්ති නැහැ. අවාසනාවකට වගේ අපිට තවමත් සමභීතිකාව කියන දේට මූණ දෙන්න වෙලා තියෙනවා.

12.ඒත් ඔබේ අම්මා ඔබව වැළඳගත්තා. ඔබේ තාත්තත් එහෙම කළා?


හරිම අපූරු තාත්තා කෙනෙක් මට ඉන්නෙ. ඔහු මනෝ වෛද්‍යවරයෙක්. මම ඔහුට කියන්න ගියහම් ඔහු කිව්වා" පුතේ ඔයා වචනයක් වත් කියන්න ඕනෙ නැහැ. මම ඔයාට ආදරෙයි. මට ඕනෙ ඔයා සතුටින් ඉන්නවා දකින්න" කියලා.
රිකීගේ පියා
රිකීගේ ස්වයං චරිතාපදානයට අනුව ඔහු තමන්ගේ ජීවිතයේ වැඩි කාලයක් ඇතුළතින් අරගලයක නිරත වී සිට ඇත.


"අවුරුදු ගණනක් තිස්සේ මට කියාදෙනු ලැබුවේ මට දැනෙන විදිහ අත්වැරැද්දක් කියලයි.මට කියා දෙනු ලැබුවේ මගේ හැඟීම් දුෂ්ටයි කියලයි.ඉතින් මම මගේ හැඟීම් මට හැකිතරම් නවත්වන්න උත්සාහ කළා. මම හුඟක් වෙලාවට නින්දට යනවිට මටම වෛර කළා.රහසක් සඟවාගෙන ඉන්න නිසා ලොකු අසතුටක් දැනුණා. සමහර වෙලාවට වේදිකාව මත ඉන්නකොට හිස් බවක් දැනුණා. සමහර වෙලාවල් තිබුණා මට හිතුණා මම බොහොම නරක පුද්ගලයෙක් කියලා.මම මටම ප්‍රමාණවත් නැහැ කියලා."

13. ඒක නේද හැම සමරිසියෙකුටම දැනෙන්නේ " මම වටින්නේ නැහැ. මම හොඳ මදි" කියලා?


වඩාත්ම දුක හිතෙන කාරණය වෙලා තියෙන්නේ වයස 17ක් විතර වන ළමුන් මේ බව අත්විඳිනවා.වයස තිස්ගණන්වල ගැහැණු පිරිමි මේ බව අත්විඳිනවා. මිනිස්සු ජීවිතය ගතකරනවා තමන්වම පිළිගන්නේ නැතුව.

14. ඔබ හිතන්නේ නැද්ද සමරිසි පුද්ගලයින් වැඩි වැඩියෙන් එළියට ඇවිල්ලා ඒ ගැන කතාබහ කිරීම, ඒ බව හැඟෙන යෞවනයින්ට බලාපොරොත්තුවක් විතරක් නොව ප්‍රබෝධයක්.සමරිසි හැමෝම එළියට ආවොත් එය ලෝකයම වෙනස් කරයි කියලා.

මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා.(ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොලසන් නාදයක්)

15.ඒත්  ඔබේ පොතේ මට වටහාගන්න බැරි ඔබට කාන්තාවන් සමඟ තිබූ සරාගී ආදර සම්බන්ධතාවන්. උදාහරණයක් හැටියට ගත්තොත් "කාරණය තමයි මම මේ කාන්තාවට කැමැති බව පමණක් නොවෙයි .මේ කාන්තාව මාව උන්මාදයට පත් කළා. මට හැඟුණු ආකර්ෂණය, ආශාව, කායික සරාගී බව මාව හැමඅතින්ම ඉරා දැමුවා. කායික රසායනය උතුරාගියා. ඇය ගමන් කළ ආකාරය, අපි දෙදෙනාම ගමන් කළ ආකාරය මාව පිස්සු වැට්ටුවා. " ඒ මොකක්ද ඒ?

මම මේ පොත ලියන කොට, මම හිතුව දේ තමයි මම මම නොවුනු කෙනෙක් හැටියට බොරුවට මවා පාන්න හිතුවෙ නැහැ. මම මගේ ආත්මය වළදමමින් හිටියේ.ඔව් මට දැනුණා.මට කාන්තාවන් සමඟ දැනුණා.මට සරාගී බවක් දැනුණා.

16.එතකොට ලිංගික......?

ඔව්. ඒක හොඳට දැනුණා.(ප්‍රේක්ෂකාගාරයත්, රිකීත් සිනාසෙයි). ඒ වගේම මට විශ්වාසයි ගැහැණුන් හමුවෙන්න ගිය එකම සමරිසි පිරිමියා මා පමණක් නොවන බව. ගැහැණුන් කෙරේ ආකර්ෂණයක් දැනුණු එකම සමරිසි පිරිමියාත් මම නොවන බව. මම කවදාවත් බොරු කියන්නේ නැහැ. මම අනිවාර්යයෙන් කියන්න ඕනෙ මාත් එක්ක හිටිය කාන්තාවන් ගැන, මට දැනුණා, මට හොඳට දැනුණා. මට හොඳට දැනුණා.  මට පුදුම විදිහට දැනුණා. මම විකාරයක් නෙමෙයි කළේ.

17.ඔව් මට තේරෙනවා.මොකද ඔබ එලියට ආවට පස්සේ ඔබත් එක්ක හිටිය කාන්තාවන් අසාවි."ඒ මොකක්ද ඒ" කියලා.( ප්‍රේක්ෂකාගාරය සිනාසෙයි)
අපි ලිංගිකත්වය වර්ණාවලියක් විදිහට ගත්තොත් සමහරු ඉන්නවා සම්පූර්ණයෙන්ම 10 ඉන්න. සමහරු ඉන්නවා 10ත් 8ත් අතර, සමහරු මැද ඉන්නවා.මට හිටියා හොඳ සමරිසි යාළුවෙක්, ඔහු කිව්වේ ඔහුට කාන්තාවක් එක්ක ලිංගිකව හැසිරෙන්න තියෙන එකම විදිහ මිනිහෙක්ගේ රූපයක් ඇඳේ තියාගෙන කියලා,( රිකී ඇතුළු සියල්ලෝම සිනාවෙති), ඒ වගේම සමහර පුද්ගලයො ඉන්නවා ඔබ වගේ, ලිංග දෙකත් එක්කම ලිංගිකව හැසිරෙන්න පුළුවන් 
රිකී එහිදී සිනාසුනු අයුරු
මම ද්විලිංගික නැහැ. මම සමලිංගික පිරිමියෙක්.(ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොලසන් නාදයක්). ඒත් අවුරුදු ගණනක් තිස්සෙ මම හිතුවෙ ද්විලිංගිකයි කියලා.ඉතින් මම පැටලිලා හිටියේ. මම කාන්තාවන් එක්ක ඉද්දි හැම දේම සර්වසම්පූර්ණයි. ප්‍රේක්ෂකයො ගොඩක් ආසා කළා මම කාන්තාවන් එක්ක ඉන්නවා දකින්න. ඉතින් මම හිතුවා මම කොහොමහරි මේදේ කරනවා කියලා.

18. ඔබට පිරිමියෙක් එක්ක ඉන්න තියෙන හැඟීම යටපත්කරන්න ඔබ කාන්තාවන්ව සමහරවිට පාවිච්චි කළාද?


සමහරවිට. සමහරවිට ඔව්. මට සමහරවෙලාවට ඇත්තටම කාන්තාවන් කෙරේ ආදරයක් ඇතිවුණා. මට කාන්තාවන් එක්ක දිග සම්බන්ධකම් තිබුණා. ඇත්තෙන්ම අදටත් එයාලා මගේ යාළුවෝ.

19.  ඔබේ ලිංගික ප්‍රතිරූපය නිර්මාණය කිරීමට ඔබත් ක්‍රියාකළා. ඔබ කාන්තාවන් එක්ක වේදිකාව උඩ බොහොම සරාගී විදිහට නර්තනයේ යෙදෙනවා.
රිකී වේදිකාව මත කාන්තාවන් සමඟ නර්තනයේ යෙදීම
මම වේදකාව මත ඉන්නකොට මට හොඳ කාලයක් ගතකරන්න ඕනෙ වුණා. සමහරවිට නිදහස් සංස්කෘතියක මම හිටිය නිසා වෙන්න ඇති. මම මගේ හැඟීම්, සිතුවිලි සංගීතයක් එක්ක ගලාගෙන යාමට ඉඩ හැරියා. ඔව් අපිත් මිනිස්සු. එන්න අපි නටමු. විනෝදවෙමු. මම ප්‍රේක්ෂකයො ඉදිරියේ මොකක් හරි නර්තනයක් කරලා පෙන්වුවහම. මට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.එතකොට මම ඒක ආයෙ කරනවා. මොකද මම ඒ ප්‍රතිචාරයට කැමතියි. එහෙමයි මට හොඳ විනෝදකාමියෙකු ලෙස දැනෙන්නේ.

20.කටකතා පැතිරෙන්න ගත්තහම ඔබ බියට පත්වුනේ නැතිද?


කටකතා පැතිරෙන්න ගත්තහම මම හිතුවේ මිනිස්සුන්ට මේ ගැන අමතක වෙලා යාවි කියලයි.

21. කටකතා පැතිරෙන්න ගත්තහම, ඔබ දන්නවා එතකොට ඔබට පිරිමි එක්ක සබඳතා තිබුණා.ඔබ බිය වුණේ නැත්ද ඔවුන් පෙරට ඇවිත් කතා කරයි කියලා?


ඒත් එයාලා කිසි දෙයක් කීවෙ නැහැ.ඔව් මම බය වුණා.ඒත් මට වෙලාවකට හිතෙනවා මම කරන්නේ හරි දෙයක් තවත් වෙලාවකට හිතෙනවා මම කරන්නෙ වැරදි දෙයක්. මම ඇත්තටම පැටලිලා හිටියේ නිකං වළාකුලක් ඇතුලේ ඉන්නවා වාගෙ. මොනවා වෙනවාද කියලා දන්නේ නැහැ. පස්සේ මට එයාලව මුණගැහුණාම මම මුකුත් කරේ නැහැ , අමතක වුණා වගේ හිටියා.

22. ඔබ ඔබේ පොතෙන් කියනවා ඔබ සියල්ල අතහරින්න සූදානම් වී ආදරෙන් බැඳුන කෙනා ඔබේ ගමන පැහැදිලියි කියා ඔබව ප්‍රතික්ෂේප කළහම ඒ වේදනාව ඔබව තවත් සත්‍යයෙන් ඈතට රැගෙන ගියා කියලා.

ඔව්. හරිම වේදනාකාරීයි. මොකද මගෙ හදවත බිඳිලා තිබුණෙ. මම එතකොට තරුණයි. මට ඒ දවස්වල හදවත බිඳිලා දැනුණ හැඟීම හරිම අඳුරුයි.  මට කවදාවත් ආයෙ එහෙම දැනෙන්න ඕනෙ කළේ නැහැ. මම ඒ හින්දා කාන්තාවන් එක්ක දෙයක් පටන් ගන්න ඕනෙ කියලා හිතුවා. සමහරවිට මේක කියනවා වෙන්න පුළුවන් මේක මගෙ මාවත නොවෙයි කියලා, මට වෙනස් වෙන්න පුළුවන් කියලා.

23.ඔබ දැනට සබඳතාවකද ඉන්නේ?

රිකී ඔහුගේ පෙම්වතා වූ කාලොස් ගොන්සාලෙස් සමඟ
මම දැනට සබඳතාවකයි ඉන්නේ. ඒක මට පුදුම විදිහට දැනෙනවා..(ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොලසන් නාදයක්)

මේ තියෙන්නේ ඔබ ෆ්ලොරිඩාවේදී ඔබේ පෙම්වතා පිළිබඳව දෙක්වූ අදහස්

මම දැනට බොහොම ලස්සන සම්බන්ධතාවක ඉන්නේ. ආදරය සිද්ධවෙන්නේ ඔබ එය අඩුවෙන්ම අපේක්ෂා කරන විටයි. මම ආදරයක්  නෙමේ සම්බන්ධතාවකුයි හොය හොය හිටියේ . මම කලින් හිටිය විදිහ ගැන සතුටින් හිටියේ. එක පාරටම "පපාං......." කියලා ආදරය ආවා. ඒක ඔබට ගොඩක් දේවල් හිතන්න සලස්වනවා. මට කියන්න තියෙන්නේ ඔහු මගේ ළමයින්ට ආදරෙයි. මගේ ළමයි ඔහුට ආදරෙයි. ඒක එන්න එන්නම හොඳ තත්වෙට එනවා.

24. සමලිංගික විවාහය නීතිගත කළොත් ඔබ විවාහ වෙනවාද?

අපි දැනට ඒක කතාකරන දෙයක් නෙවෙයි. ඒත් මට විවාහයත් විකල්පයක් හැටියට ඕනෙ.  මම මගේ බදු ගෙවනවා. ඒක සිවිල් අයිතියක්. සමහර පවුල් වලට ඒ කඩදාසිය අත්සන් කිරීම හුඟක් වැදගත්. මම ඒ අයිතිය වෙනුවෙන් සටන් කරනවා. මට ඒ විකල්පය දෙන්න.

25. මම ඔබේ  ස්වයං චරිතාපදානයට හුඟක්ම කැමති ඒක ඇත්තටම දැනෙන්නේ  ආධ්‍යාත්මික සංචාරයක් වගෙ නිසයි. ඔබ මේ පොතේ බොහොම ලස්සනට කියලා තියෙනවා බියෙන් ජීවත් වීම ගැන. ඔබ මොනවද මේ ආධ්‍යාත්මික සංචාරයෙන් ඉගෙනගත්තේ බියෙන් ජීවත් වීම ගැන ?

ඒ ඔක්කොම තියෙන්නේ ඔබේ හිසේ. ඔබ ඔබේ අවිනිශ්චිත හැඟීම වලට ඉඩදුන්නොත්, නොමඟ යන්න, ඔබ ඉඩදුන්නොත් මිනිස්සුන්ගේ අනාරක්ෂිතභාවයන් තුළින් ඔබේ අනාරක්ෂිතභාවයන් වැඩෙන්න අරින්න, ඒක තමයි. ඔබ බියෙන් මිදෙන්න ඕනෙ. ලෝකෙට මූණ දෙන්න ඕනෙ. ඔබ කණ්ණාඩිය ඉස්සරහට ඇවිල්ලා ඔබටම කියාගන්න ඕනෙ "මම ඔබට ආදරෙයි. කිසිවක් විසින් ඔබව විනාශ කරන්නේ නැහැ. ඔබව වැටෙන්නේ නැහැ"කියලා.

26. මොකක්ද ඔබ තීරණය කළ මොහොත"මම තවදුරටත් මේ බොරුවේ ජීවත් වෙන්නේ නැහැ. මම තවදුරටත් මම නොවන කෙනෙක් මවා පානේනේ නැහැ"කියලා?

මම හිතන්නේ මම ඇඳට යනකොට මම මටම වෛර කළා. මට ආයෙ එහෙම කරන්න ඕනෙ වුණෙ නැහැ. ඔබ ඔබේ පවුලත් එක්ක කරපු දේවල්, කරපු පුණ්‍ය කටයුතු, ලබාදුන්නු ආදරය දිහා බලද්දි ඔබ කොහොමද ඔබටම වෛර කරන්නේ. ඒක තමයි. වෛරය කියන එක බොහොම දරුණු වචනයක්. ඒත් ඔව් මට වෛරය දැනුණා.

27. මේ ක්‍රියාවලියේදී මේ පොතේ කියනවා, මැඩෝනා ඇවිත් කියනවා." සම්මුඛ සාකච්ඡා නවත්වන්න. මිනිස්සු දැනටම දන්නවා ඔබ කවුද කියලා", ඒත් ඔබ සඳහන් කරලා තියෙනවා ඔබට ඒක තේරුණේ පස්සේ කියලා. ඒ ගැන කිව්වොත්?

ඈ කිව්වා මොහොතකට වේදිකාවෙන් එළියට ඇවිත් වෙන්නේ මොකක්ද  බලන්න කියලා.මොකද මම එතකොට වැඩවලමයි හිටියේ. මම වැඩ නවත්වලා මොහොතකට හරි නිශ්ශබ්ද වුනෝතින් හුඟක් දේවල් එනවා. මම ලෑස්ති වෙලා හිට්යේ නැහැ එතකොට මගේ සිරුර, හැඟීම් කියන්නේ මොකකටද කියලා. ඈ කිව්වා "ටිකකට වේදිකාවෙන් එළියට එන්න. ඔබට විවේකයක් ඕනෙ.මිනිස්සු දන්නවා ඔබ කවුද කියලා. ඇයි මේ සම්මුඛ සාකච්ඡා කරන්නේ කියලා.

රිකී ඔහුගේ නිවුන් දරුවන් ගැන කතා කරන වැඩසටහනේ  ඉතිරි  කොටසේදී ඇසූ ප්‍රශ්න මීළඟ ලිපියෙන්..