Showing posts with label සමලිංගික ප්‍රේමය. Show all posts
Showing posts with label සමලිංගික ප්‍රේමය. Show all posts

Friday, June 15, 2012

රිකී මාටින් තමන් සමලිංගිකයෙකු විම ගැන කතාකරයි - 2


රිකීගේ පවුල
භාරකාර මවක් හරහා ලබාගත් නිවුන් දරුවන් දෙදෙනෙකු නිසා 2008 අගෝස්තු  6වන දින රිකී මාටින් පියෙකු බවට පත් විය. පිරිමි ළමුන් වුණු ඔවුන්ගේ නම් වන්නේ මටේයෝ සහ වැලන්ටීනෝ ය.
රිකී ඔවුන් පිළිබඳව අදහස් දක්වයි.

" මගේ දරුවෝ මට එළියට එන්න අවශ්‍ය ශක්තිය ලබා දුන්නා.  ඊටත් වඩා මට තවත් මේක දරාගන්න බැරි වුණා. ඒත් මට අන්තිම තල්ලුව ලබා දුන්නේ මගේ ළමයි. මම එයාලට ඇත්ත කිව්වේ නැත්නම් මම එයාලට බොරු කරන්න උගන්නන්නද?" . මට මගේ පවුල බොරුවක් මත ගොඩනැගෙන්න ඕනෙ නැහැ. මට එයාලට විනිවිද වෙන්න ඕනෙ. එයාලා එයාලගෙ තාත්තා ගැන ආඩම්බර වෙන්න ඕනෙ. එයාලා එයාලගෙ පවුල ගැන ආඩම්බර වෙන්න ඕනෙ".

1. ඔබ කොහොමද දැනගත්තේ ඔබට තාත්තා කෙනෙක් වෙන්න ඕනෙ කියලා?  

මම හිතන්නේ මට හැමවිටම තාත්තා කෙනෙක් වෙන්න ඕනෙ කළා. මට තාත්තාත් එක්ක ලස්සන සම්බන්ධයක් තිබුණා. ලස්සන මතකයන් තිබුණා. මම හැමවෙලාවෙම දැනගත්තා මට පවුලක් ඉඳීවි කියලා.


මේ ඔහු තම දරුවන් ගැන දැක්වූ අදහස්
රිකී ඔහුගේ නිවුන් දරුවන් සමඟ
"මම තාත්තා කෙනෙක් වෙන්න කලින් කවදාවත් උදේ 10ට කලින් නැගිටලා තිබුනේ නැහැ.  මම එයාලට ස්පාඥඥ , ඉංග්‍රීසිවලින් කතා කරනවා. එතකොට එයාලට තේරේවි. උදේ කෑමෙන් පස්සේ ඇඳුම් මාරු කරනවා. එයාලා ටීවි බලනවා. එයාලා යුෂ බොනවා. සාමාන්‍යයෙන් මම ම තමයි මේක කරන්න ඕනෙ. මේක මගෙ ජීවිතේ කොටසක්."

"වැලන්ටිනෝ හරිම හොඳ ළමයෙක්. එයා හැමදේම බෙදා ගන්නවා. එයා අනිත් අයව ඉස්සරහට දානවා.මම හිතන්නේ ඒක හරි හොඳ ගුණයක්. මටේයෝ හරිම සුහද ළමයෙක්. එයා පෙරට යන ළමයෙක්. එයා එයාගෙ සහෝදරයව බලාගන්නවා. එයා තමයි පටන් අරගෙන ප්‍රශ්න අහන්නේ.එයා පොත් වලට ආසයි."
රිකී ඔහුගේ නිවුන් දරුවන් සමඟ
"මට ඕනෙ එයාලා වයස අවුරුදු 15ක් 16ක් වුණාම කියන්න තාත්තේ ඔයා හැමදාම අපිත් එක්ක හිටියා කියලා. එයාලා මගේ ජීවිතයට ගෙනාපු සරල බව තමයි වැදගත්. පහුගිය අවුරුදු 15, 20 පුරාවටම මම ලෝකෙ තියෙන වඩාත්ම මිල අධික, සැපපහසු හෝටල්වල හිටියා. පුද්ගලික ජෙට්, ලීමෝ කාර් වල ගියා. ඒත් ඒක නෙමෙයි වැදගත්. වැදගත් වෙන්නේ අපි එකිනෙකාගේ ඇස් දිහා බලන් ඉන්නකොට අපි එකිනෙකාට බැඳිලා. අපිට හරි පහසුවක් දැනෙනවා. අපි තුන්දෙනා එකතුවෙලා හරිම අපූරු ආදරයක්, ශක්තියක් ගොඩනඟනවා. ඒක තමයි සරල. ඉතින් ඒක මට දෙන්නේ මගේ ළමයි, මම තාත්තා කෙනෙක් වෙලා ඉන්නකොට".

2. අපි ක්‍රියාවලිය ගැන කතාකරමු. ඔබ තීරණය කළා පියෙක් වෙන්න. ඔබට ඕනෙ කළා ඔබේ ශුක්‍රාණු තවත් දායක මවකගෙන් ලබාගත් ඩිම්බ සමඟ වෙනත් භාරකාර මවකගේ තැන්පත් කරන්න.

මට ඒක හරියට කරන්න ඕනෙ වුණා. මම ඒක ඒජන්සියක් හරහා නීතීඥයින් මාර්ගයෙන් කළේ හැම දේම හරියට වුණා කියලා සහතික කරගන්න.

3.කවුරුවත් දැනගෙන හිටියේ නැද්ද ඒ ඔබයි කියලා?

දරුවෙක් හදාගන්න විවෘතව හෝ පුද්ගලිකව හෝ පුළුවන් වගේ මේකත් ඒ දෙවිදිහටම කරන්න පුළුවන්. නීතීඥයා කිව්වේ භාරකාර මව මේක පුද්ගලිකව කරන්නෙ කියලා. මේක හරිම බහුලයි.කිසිදෙයක් වැරදියට වෙන්නේ නැහැ.මේකෙ විදිහත් එහෙමයි කියලා. සමහර භාරකාර මව්වරු මේකට කැමතියි.මගේ දරුවනුත් ආවෙ එහෙමයි. එයා විවාහක කාන්තාවක්. එයාට ඕනෙ කළා මේක සරලව කරලා ජීවිතෙ ඉස්සරහට යන්න.
මම මගේ දරුවන්ව තියන්නේ කාගාවද කියලා හොයද්දී මම ඈට දුරකථනය හරහා කතාකළා. මම ඇහුවා " ඇයි ඔබ මේක කරන්නේ?" කියලා. ඇය කිව්වා " මම බොහොම ආධ්‍යාත්මික ගැහැණියක්.මට කවදාවත් දෙවියන් වහන්සේ සමඟ කිට්ටු බවක් දැනිලා නැහැ, මට ජීවිතයේ තෑග්ග ඒක කරන්න බැරි වෙන කෙනෙකුට දෙන මොහොතෙදි තරම්.". ඉතින් මම කිව්වා "ඔබ තමයි නියම කෙනා" කියලා.(ප්‍රේක්ෂකාගාරය සිනාසෙයි)

4.ඔබ දැනගෙන හිටියාද ඩිම්බ ලබාදුන්නු දායක කාන්තාව මොනවගේද කියලා? කොහොමද ඇයවම තෝරගත්තේ?

ඔව් ඇත්තෙන්ම(සිනාසෙමින්) . මම ඉතින් පැය ගාණක් තිස්සේ පොත බලාගෙන තේරුවා. ඒත් මට තෝරපු කෙනාගෙ ඇස් සහ හිනාවෙ යම් දෙයක් දැනුණා. ඉතින් මම එයාගෙ විස්තර එයාගෙ පාසල, ලියුම හැම දෙයක්ම බැලුවා.

5.ඉතින් එයා බොහොම හැඩ දක්ෂ කෙල්ලක්.

ඔව්. එයා හරි ලස්සනයි. දක්ෂයි(සිනාසෙමින්)

6.ඔබට මතකද ඔවුන් ඉපදුණු දවස?ඔබ කොහෙද මොනවද කරකර හිටියේ?

මම ගෙදර කෝල් එක එනකම් බලාගෙන හිටියේ. දැන් එයි. දැන් එයි කියලා. ඔව් ටිකක කලබල ගතියකින් හිටියේ. ඉතින් මට කෝල් එක ආවා" ඔයා අද තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ කියලා".ඉතින් මම කාර් එක එලවගෙන රෝහලට ගියා.මම ප්‍රසූති කාමරයේ නෙමෙයි හිටියේ ඊට යාබද වෙනත් කාමරයක.මට ඇහුනා පළවෙනි ඇඬීම.

7.එතකොට දැනුණු හැඟීම මොනවගේද?

මට එයාලව වඩාගන්න ඕනෙ කරන ලොකු හැඟීමක් ඇති වුණා. ඉතින් නර්ස් මට ළමයි ගෙනත් දුන්නා.මම එයාලව අත්දෙකට ගත්තා. මට හරි අදහාගන්න බැරි පුදුම විදිහට ඒක දැනුණා. දෙවියන් වහන්සේ ඉන්නවා වගේ දැනුණා. මේක මහා ආශ්චර්යයක්. ඒ වගේම එයාලා මං වගේ.
මටේයෝ සහ වැලන්ටීනෝ
8.ඉතින් ඔබ දරුවන් ගෙනාවහම ඔබට සියලු දේ ඔබ අතින්ම කරන්න ඔබට ඕනෑ වුණා? ඒ වෙනුවෙන්ම කැප වෙලා. ඒක කොච්චර කල් තිබ්බද? 

සති හතක්(සිනාසෙමින්).සති හතක් නිදාගන්නේ නැතුව හිටියේ.මම තනියෙන් ඉන්නකොට නිදිමතේ වැනෙනවා.

9.ඔබට මේ හරහා මේක කරන පළමුව ඔබේ මවටත්, ලෝකෙ ඉන්න අනික් මව්වරු ගැනත් ලොකු ගෞරවයක් දැනුණාද?

අදහාගන්නත් බැහැ. ලොකු ගෞරවයක්. ඒක අමාරුයි. පේන හැටියට ඒක එන්න එන්නම අමාරු වෙනවා..(ප්‍රේක්ෂකාගාරය සිනාසෙයි)

10.ඔබ ඔවුන්ගෙන් රාත්‍රී දෙකකට වඩා වෙන්වී හිටියේ නැහැ.

ඔව්. රාත්‍රී දෙකකට වඩා නැහැ. එයාලා පළවෙනි වරට ඇවිදිද්දි මාත් එක්ක පාරෙ ඇවිද්දා.

11.ඔවුන්ගේ ජීව විද්‍යාත්මක මව ගැන ඔබ මොකක්ද ළමයින්ට කියන්නේ?

මම එතනට තාම ඇවිත් නැහැ. එයාලා මගෙන් අහයි. මම එයාලට කියාවි මට ඕනෙ ඔයාලා මගේ ජීවිතය වෙන්න. දෙවියන් වහන්සේගේ උදව ඇතුව මට පුළුවන් වුණා ඔයාලා මගේ ජීවිතයේ කොටසක් කරගන්න. මම ඒකෙන් තමයි පටන් ගන්නේ. මම හිතන්නේ පවුලක් ගොඩනැගිලා තියෙන්නේ ආදරය මත. එතකොට අපි, මම ඔයාට ආදරෙයි. ඔයා මට ආදරෙයි.ඒක තමයි වැදගත්ම දේ.හැම පවුලක්ම එක සමාන නැහැ. හැම පවුලක්ම වෙනස්. අම්මයි තාත්තයි ඉන්න පවුල් ඉන්නවා. අම්මලා දෙන්නෙක් ඉන්න, තාත්තලා දෙන්නෙක් ඉන්න, එක අම්මෙක්. එක තාත්තෙක් ඉන්න පවුල් ඉන්නවා. මම තමයි අම්මා. මම තමයි තාත්තා. මම මගේ උපරිමය කරනවා. ඔයාලා ආඩම්බර වෙලා ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ, මට තම්යි අපූරුම පවුල තියෙන්නේ කියලා.මම නවීන පවුලක කොටසක් කියලා.

12. ඔබ කියලා තියෙනවා ඔවුන්ට ඔවුන්ගේ අම්මා බලන්න ඕනෙ කිව්වහම ඔබ ඔවුන්ට කියනවා කියලා" ඔයා ඇය දිහා තමයි බලන් ඉන්නේ" කියලා.( රිකී ඇතුළු ප්‍රේක්ෂකාගාරය සිනාසෙයි)

"මට මගේ අම්මා මුණගැහෙන්න ඕනෙ"කියලා කිව්වහම මම කියනවා"ඔව්.හමුවීම සතුටක්".

රිකීගේ එළියට ඒම ගැන අනෙකුත් සමරිසියන් විසින් දක්වන ලද අදහස් කීපයක්.

"මම ගෙදර හිටියේ  බ්‍රසීලයේ ඉන්න මගේ අම්මා බලන්න. අපි ප්‍රවෘත්ති බලමින් හිටියේ. එතකොට කිව්වා පොප් ගායක රිකී මාටින් සමරිසියෙක් බව ඔහු විසින් කියලයි කියලා. මම අම්මගෙන් ඇහුවා "මමත් සමරිසි නම් අම්මා මොකද කරන්නේ කියලා?". අම්මා කිව්වා" මම ඔයාට වෙනදා විදිහටම ආදරේ කරයි" කියලා. මම ඒ මොහොත එනකම් මගේ මුළු ජීව්තේම බලන් හිටියා."

"ඔහු එළියට ආවහම මම මා ගැන හිතන විදිහ සම්පූර්නයෙන් වෙනස් වුණා.මම ඔහුට ස්තූති කරන්න ඕනෙ ඔහුට ඒක කරන්න ධෛර්යය තිබීමත් ඒ නිසා මගේ වෙනස් වීම ගැනත්"

"මම එළියට ආවේ 1992දී ඒත් මගේ අම්මා මගේ පුද්ගලික ජීවිතය ගැන වැඩි ප්‍රශ්න ඇහුවේ නැහැ.ඒත් හැමෝගෙම ආදරය ලබන සුප්‍රසිද්ධ රිකී මාටින් එළියට ආවාහම ඒක බලකළා මගේ අම්මට මගේ පුද්ගලික ජීවිතය ගැන ප්‍රශ්න අහන්න. මට ඒකෙන් පළමුවරට මගෙ අම්මත් එක්ක කවදාවත් නොදැනුණු තරම් බැඳීමක් දැනුණා. ඔබේ අම්මා ඔබව සම්පූර්ණයෙන් පිළිගත්තහම ඔබ කවුද කියලා, ඔබට සම්පූර්ණයෙන්ම ඔබව දැනෙනවා. මට අන්තිමේදි සම්පූර්නයෙන්ම විශ්වාසයක් සහ මිනිහෙක් වගේ දැනෙනවා.ඊට වඩා අඩුවෙන් දැනෙන්නේ නැහැ"

"රිකී මාටින් වගේ ප්‍රසිද්ධ කෙනෙක් එළියට ආවාහම, අපිටනම් ලතින් ඇමරිකානු කෙනෙක් එළියට ආවහම, ඒක හැමදේම වෙනස් කළා. දැන් අපි අතරින් කෙනෙක් එළියට ආවහම කලින්ට වඩා පිළිගැනීමක් තියෙනවා. ඔහු අපි වගේ අනික් අයට අවශ්‍ය මාවත හැදුවා."

"මට මේ දැනෙන හිතේ සතුට සහ සාමය ගැන දැන සිටියා නම් මම මීට අවුරුදු 10කට කලින් ඒක කරනවා. ඒත් හැමෝම යන්නේ තමාගෙම කියලා ගමනක, ඒක මගේ කාලය වුනේ නැහැ."යනුවෙන් රිකී ඒ පිළිබඳ අදහස් දැක්වීය.

13. ඔබ මේ පොතේ අන්තිමට ලියලා තිබ්බ ඡේදය කියවනවාද, ඔබේ ළමයින්ට දැනෙන්න ඕනෙ විදිහ ගැන?

මම දැන් සම්පූර්ණයි. මගේ පවුලට, මගේ යහළුවන්ට සහ මගේ පෙම්වතාට  මම කවුද කියන එක නියම විදිහට දෙන්න මම සූදානම්.  මට ඕනෙ මේ පොත මගේ ළමයි  විසින් යම් දවසක කියවලා  මම ඔවුන්ගේ පියා වීමේ සතුට විඳින ආධ්‍යාත්මික සංචාරය දැනගන්න. මට ඕනෙ මගේ හදවත සම්පූර්ණයෙන්ම එයාලට විවෘත කරන්න.  ඒ නිසා අනිවාර්යයෙන්ම අනාගතයේදී ඔවුනුත් ඒ දෙයම කරන්න කවදාවත් බිය වෙන එකක් නැහැ.

රිකී ඔහුට වයස අවුරුදු 13දී කළ රූපවාහිනී හමුවකුත් ඔහු විසින් එලිදක්වන ලද නවතම ගීතයත් වැඩසටහනේදි ඉදිරිපත් කරන ලදී.

Wednesday, June 6, 2012

සමලිංගික ප්‍රේම කතාවක්


රෝමියෝ-ජුලියට්, ෂාජහාන්-මුම්ටාස්, රාමා-සීතා, සීසර්-ක්ලියෝපැට්රා මේ ලොව සුපතල ආදර කතා කීපයකි.ඒත් පිරිමි දෙදෙනෙකු අතර ඇති වුණු සමලිංගික ප්‍රේම කතා ලෝක ඉතිහාසයේ ඇතැයි ඔබ මඳකටවත් සිතුවාද?. ග්‍රීක යුද විරුවන් දෙපළක් වූ අකිලීස් සහ පැට්‍රොක්ලස්(Achilles and Patroclus) අතර සුප්‍රකට දස අවුරුදු ට්‍රෝයි යුද්ධය සිදුවූ ක්‍රි.පූ. 1194 - 1184 අතර කාලයේ ඇතිවුනු ප්‍රේමය ඉන් තවත් එක් කතාවකි.සුප්‍රකට ග්‍රීක සාහිත්‍යධර හෝමර්ගේ ඉලියඩ් කාව්‍යයේ මේ කතාව මැනවින් විස්තර කර ඇත.
අකිලීස් පැට්‍රොක්ලස්ගේ අතෙහි තුවාලයකට ප්‍රතිකාර කරමින්
සිටීම දැක්වෙන සිතුවමක්

එකළ පුරාතන ග්‍රීසියේ පාතියාවේ මයමිඩෝනස් නම් ගෝත්‍රයේ රජු වූ පීලියස්(Peleus) සහ තීටිස්(Thetis) බිසවට දාව අකිලීස්  කුමරු උපත ලැබීය.  අකිලීස්ගේ බිළිඳු අවධියේදී ඔහුව ස්ටික්ස් ගඟේ ගිල්වා අමරණීය තත්ත්වයට පත්කිරීමට තීටිස් බිසව උත්සාහ කළේය. එහෙත් ඇය බිළිදාව ගිල්වීමේදී විලුඹෙන් අල්ලාගෙන සිටි බැවින්, විලුඹ ඇරෙන්නට සිරුරේ අනෙක් සියලුම කොටස් අමරණීය තත්ත්වයට පත්විය. තවත් කතාවක කියවෙන ආකාරයට ගින්නෙන්පුළුස්සා බිළිදාව අමරණීය තත්ත්වයට පත් කිරීමට උත්සාහ කිරීමේදී එතැනට පැමිණ එය වැළැක්වූ පීලියස් රජු නිසා කෝපයට පත් බිසව මාළිගාව හැර ගිය බවය.
පසුව ශිල්ප ඉගැන්වීම සඳහා පීලියස් රජු වනයේ විසූ නරතුරඟුන්ගේ රජු වූ චිරෝන්(Chiron) වෙත කුඩා අකිලීස්ව පිටත් කළේය. ඔහු යටතේ කුඩා අකිලීස් වලසුන් ඇසුරින් දිරිමත් බවද, මුවන් ඇසුරින් වේගයද පුරුදු පුහුණු කළේය. යන්තම් සය හැවිරිදි වන විට සිය පළමු දඩයම කරන්නට සමත් වූ අකිලීස් ක්‍රමයෙන් නිර්භීත, කඩවසම්, වේගවත් විරුවෙක් බවට පත්වීය.ප්ලේටෝ විසින් අකිලීස්ව හඳුන්වාදෙන ලද්දේ ට්‍රෝජන්වරුන්ට එරෙහිව සටන් කළ වඩාත් කඩවසම් විරුවා ලෙසිනි.
අකිලීස් ශිල්ප හදාරමින්....

මේ අතරතුර යොවුන්වියේ පසුවූ පැට්‍රොක්ලස් සමඟ දාදු ක්‍රීඩාවක යෙදී සිටියදී ඇතිවූ ආරවුලකදී අත්වැරදීමකින් ඔහුගේ මිතුරෙකු මරණයට පත්විය. පළිගැනීමේ චේතනාවෙන් තම පුතු මරණයට පත්කරතැයි බියවූ පියා වූ මිනෝටියස්( Menoetius) රැකවරණය පතා පැට්‍රොක්ලස් පුතු සමඟ තම යහළුවෙකු වූ පීලියස් රජු වෙත පළාගියේය. දෙදෙනාට රැකවරණය සැපයූ රජු, පූජා උත්සවයක් පවත්වා පැට්‍රොක්ලස් අපරාධයේ පාපයෙන් පාරිශුද්ධත්වයට පත්කළේය. තවද පැට්‍රොක්ලස්ව ශිල්ප ඉගෙනීම හමාර කර පැමිණි අකිලීස්ට පරිවාර සඟයකු ලෙස පත්කළේය.
පැට්‍රොක්ලස් අකිලීස්ට වඩා තරමක් වැඩිමහල් වුවද යොවුන්වියේ පසුවූ ඔවුන් දෙදෙනා ඉක්මනින්ම හොඳ මිතුරන් බවට පත්වූහ. එහෙත් පසුව එම මිතුරුදම, ආදරයෙන් යුත් බැඳීමක් බවට පත්වීය. දිනෙන් දින දෙදෙනාගේ ප්‍රේමය වැඩීගියේය.එකළ ග්‍රීසියේ සමලිංගිකත්වය, විෂමලිංගිකත්වය යනුවෙන් සංකල්ප නොවූ අතර පිරිමින් දෙදෙනෙකු අතර ඇතිවන ආදරය අතිශය පූජනීය බැඳීමක් ලෙසට සලකන ලදී. එය ගැහැණු පිරිමි ආදරය මෙන්ම සාමාන්‍ය දෙයක් ලෙසට සලකනු ලැබූ අතර එනිසා ඔවුන් දෙදෙනාගේ ආදරයට කිසිදු බාධාවක් නොවීය.දිනෙන් දින ආදරය දළුලා වැඩීගිය අතර දෙදෙනා අතර තිබූ මිතුදම එය තවත් ශක්තිමත් කළේය.ග්‍රීක සාහිත්‍යයට අනුව ඔවුන් ආදරය කරන ලද්දේ කලවා අතරේය.(They made love between the thighs)

ට්‍රෝයි බලා ඇදෙන ග්‍රීක නැව්
මේ අතර ට්‍රෝයි නුවර පැරිස් කුමරු සමඟ ස්පාටාවේ මෙනෙලෝස්(Menelaus) රජුගේ බිසව වූ හෙලන්(Helen) කුමරිය ට්‍රෝයි නුවරට පළායාම හේතුවෙන්, ග්‍රීසියේ පෞරරාජ්‍ය සියල්ලම එකට එකතු වී ට්‍රෝයිනගරයට එරෙහිව යුද්ධයට සැරසුනේය.අකිලීස් සහ පැට්‍රෝක්ලස් ට්‍රෝයි බලා නැව් නැගි හමුදාවට එක්වී ගමන් ආරම්භ කළේය. නැවේදී ප්‍රේමයෙන් වෙළුනු ඔවුන් දෙදෙනා එයින් පසු එකිනෙකාට වෙන්වී ජීවත්විය නොහැකි තරමට ලං වූහ.දෙවියන්ට යාඥා කළ අකිලීස් අප දෙදෙනාට මේ සියලු මිනිසුන්ගෙන් මිදෙන්නට හැකි වේවායි ඉල්ලා සිටිබව ඉලියඩ්හි සඳහන් වී ඇත.

 මහත් දුෂ්කරතා මැද ට්‍රෝජන් වෙරළට ළඟා වූ ග්‍රීක හමුදාව එතැන් පටන් ට්‍රෝජන්වරු සමඟ යුද්ධය ඇරඹීය. එහිදී ට්‍රෝයි රජු ප්‍රයම්(Priam)ගේ පුතු වූ ට්‍රොයිලස්(Troilus)අකිලීස් අතින් මරණයට පත් වීය.ට්‍රෝයි බලකොටුව ශක්තිමත් නිසා පහරදීමට තරම් අපහසුබව වටහාගත් ග්‍රීක හමුදාව ඊළඟ වසර නවය පුරාම අවට නගර අල්ලාගැනීමේ නිරත වූහ. අකිලීස් නිතරම සටන් පෙරමුණට පැමිණ සටන් කළ අතර ඔහුගේ නායකත්වය යටතේ ග්‍රීක හමුදාව සටන් වලින් ජයගත් අතර ට්‍රෝජන් නගර විස්සකට වැඩි සංඛ්‍යාවක් අල්ලාගත හැකිවිය. යුද්ධය ඇරඹී වසර නවයක් ගතවී අවසන ලිනරස්( Lyrnessus ) නගරය බිඳවැටුණු අතර එහි සිටි බ්‍රයිසෙස්(Briseis) කුමරිය හා ධන සම්පත් අකිලීස් අතට පත්විය. බ්‍රයිසෙස් කුමරිය වහලෙක් ලෙස යොදාගත් මුදු ග්‍රීක හමුදාවේ අණදෙන්නා වූ ඇගමෙම්නොන්(Agamemnon) ඇයව පැහැරගෙන දූෂණය කළේය. මෙයින් තමාට කළ අවමානය නිසා අකිලීස් නැවත යුද්ධයට නොඑන බව දිවුරා ඉන් ඉවත් විය. මේ නිසා ග්‍රීක හමුදා දිනෙන් දින පරාජයට ලක් වූ අතර මෙයින්කළකිරීමට පත් ඇගමෙනොන් බ්‍රයිසෙස් කුමරිය නැවත ලබා දෙන බව පැවසුවත් අකිලීස් එයට කැමති වූයේ නැත.

මේවන විට ට්‍රෝජන්වරු විසින් ග්‍රීක හමුදාව වෙරළ දක්වා පළවාහරිනු ලැබතිබූ අතර ග්‍රීක නැව්වලට ගිනි තැබීමට සූදානම් වෙමින් තිබුනි. මේබව දැනගත් පැට්‍රොක්ලස් තමන්ට අකිලීස්ගේ යුධ සන්නාහය දෙන ලෙසත් එය දුටු විට ට්‍රෝජන්වරු බියවනු ඇතිබවත් පැවසීය. ඊට එකඟ වූ අකිලීස් නැව්වලින් ට්‍රෝජන්වරු පළවා හැරි විගස නැවත පැමිණෙන ලෙස දන්වා ඔහුව යුද්ධයට පිටත් කර හැරියේය. නමුත් එම අවවාදය නොතැකූ ඔහු ට්‍රෝජන්වරුන්ට එරෙහිව සටන් කරමින් ට්‍රෝයි නුවර ප්‍රාකාරය දක්වාම පළවා හැරියේය. එහිදී ට්‍රෝජන් සෙබළුන් 53දෙනෙක් ඔහු අතින් මැරුම් කෑ බව සඳහන් වේ. එහෙත් පැට්‍රොක්ලස්, ට්‍රෝයි නුවර ප්‍රයම් රජුගේ වැඩිමල් පුතු වූ හෙක්ටර්(Hector)  විසින් එල්ල කරන ලද හී පහරක් නිසා ඛේදනීය ලෙස මරණයට පත්විය. අකිලීස්ගේ යුද සන්නාහය හෙක්ටර් අතට පත් විය.
පැට්‍රොක්ලස්ගේ සිරුර ගෙන ඒම දැක්වෙන කැටයමක්

අකිලීස් එම පුවත ඇසූ විට ඔහු පොළොවේ හැපි හැපී වේදනාවෙන් හඬා වැළපුණේය. ඔහුගේ මිතුරන් විසින් පැට්‍රෝක්ලස්ගේ සිරුර යුද පිටියෙන් ගෙන ආවිට එය මිහිදන් කිරීමට අකිලීස් ඉඩ නොදුන්නේය.ඔහු මළසිරුර මත වැතිරී එය දෙඅතින් බදාගෙන ඉකිබිඳමින් සිටින විට ඔහුගේ මව වූ තීටිස් අකිලීස්ව සනසන්නට විය.එහෙත් තමන් නිසා ඔහුගේ ජීවිතය නැතිවූ බව අකිලීස් තමන්ටම දොස් පවරාගනිමින් ඔහු ගැනම සිතා නොකා නොබී ළතැවෙන්නට විය.


පැට්‍රොක්ලස්ගේ මරණය හමුවේ වැළපෙන අකිලීස්

" ඔබේ කලවවලට ඇති මාගේ පිවිතුරු හැඟීම ගැන ඔබට කිසි සැලකිල්ලක් නැත. අප නිතරම ගත් හාදු සියල්ලට පසු ඔබ ගුණමකු වී ඇත"
("You had no consideration for my pure reverence of your thighs, ungrateful after all our frequent kisses")
මෙසේ පවසමින් ඔහු සිරුර බදාගෙන වැළපුණු බව ග්‍රීක සාහිත්‍යයේ සඳහන්ය.

තම පෙම්වතා මැරීමේ පළිය ගන්නට නව යුද සන්නාහයෙන් සැරසී අකිලීස්  නැවතත් ට්‍රෝයි යුද්ධයට පිවිසියේය. කෝපයෙන් වියරු වැටී සිටි අකිලීස්, හෙක්ටර් පසුපස ට්‍රෝයි ප්‍රාකාරය වටා තුන්වරක් ලුහුබැන්ඳේය. අවසානෙයේදී  අකිලීස් විසින් හෙක්ටර්ව මරා දමනු ලැබීය. ඔහුගේ කෝපය කොතරම් වීද යත් හෙක්ටර්ගේ සිරුරට අවසන් කටයුතු කරන්නට ඉඩනොදී එය තම කරත්තයේ සවිකර බිමදිගේ ඇදගෙන ගියේය. එහෙත් ට්‍රෝයි රජුගේ බලවත් ඉල්ලීම මත සිරුර බාරදෙන ලදී.

හෙක්ටර් මරා විජයග්‍රාහීව පැමිණෙන අකිලීස්
පැට්‍රොක්ලස් මිහිදන් කිරීමට අකිලීස් ඉඩ නොදුන් නමුත් ඔහුගේ ආත්මය සිහිනෙන් අකිලීස් වෙත පැමිණ නිසි ආදාහනයකින් තොරව තමන්ට පරලොවට අධිපති හේඩ්ස්(Hades) වෙත යාමට නොහැකි බව පවසා සිටියේය.එනිසා අකිලීස් ඔහුගේ කොණ්ඩය කපා, අශ්වයින්, බල්ලන් සහ ට්‍රෝජන් සිරකරුවන් දුසිමක් මගින් බිලි පූජාවක් සිදුකර ඔහුගේ සිරුර චිතකයක ආදාහනය කළේය. ඔහුගේ ඇටකටු සහ අළු රන් බඳුනකට එකතු කරගන්නා ලද අතර චිතකය තිබූ තැන සොහොන් කන්දක් ඉදිකරන ලදී. තවද අකිලීස් ඔහු වෙනුවෙන් ගෞරව පිණිස අවමංගල්‍ය ක්‍රීඩා උළෙලක් පැවැත්වීය.

ඉන්පසුව තවදුරටත් යුද්ධයේ නිරත වූ අකිලීස් විසින් ට්‍රෝජන්වරු බොහෝ ගණනක් මරාදමනු ලැබුවේය. එහෙත් යුද්ධයේදී පැරිස් කුමරු විසින් අකිලීස්ගේ විලුඹට එල්ල කරන ලදහී පහර නිසා ඔහු මරණයට පත් වීය.ඔහුද ආදාහනය කරනලද අතර ඔහු වෙනුවෙන්ද අවමංගල්‍ය ක්‍රීඩා උළෙලක් පැවැත්විණ. මරණින් මතුද එක්ව සිටීම අරමුණු කරගනිමින් ග්‍රීකයන් විසින් ඔහුගේ ඇටකටු සහ අළු පැට්‍රොක්ලස්ගේ ඒවා සමඟ මුසු කොට රන් බඳුනක අසුරා කළු මුහුදේ ලියුක්(Leuke) දූපතේ තැන්පත් කෙරිණි.ග්‍රීකයෝ ඔවුන් දෙදෙනා වෙනුවෙන් පූජනීය සොහොනක් ට්‍රෝයි නුවර ඉදිකළහ.පසුකාලයේ ඔවුන්ගේ ආත්මයන් අත් අල්ලාගෙන ගමන් කරනු එම දූපතේ වරින් වර දක්නට ලැබුණු බවත් කියැවේ.

කෙසේහෝ අවුරුදු දහයක් අවසානයේදී ට්‍රෝයි නුවරට උපක්‍රමශීලී ලෙස යවන ලද ට්‍රෝජන් අශ්වයකු හරහා ට්‍රෝයි නුවර අල්ලාගැනීමට ග්‍රීකයින්ට හැකිවිය. එහිදී පැරිස් කුමරු මෙන්ම ට්‍රෝයි රජපවුලද මරුමුවට පත්වූ අතර හෙලන් කුමරියව නැවත ග්‍රීසියට රැගෙන යන ලදී.

පසුකාලීනව ප්ලේටෝ, එස්චින්ස්, හෝමර් ආදී ග්‍රීක සාහිත්‍යධරයින්ගේ නොමඳ වර්ණනාවට මේ ආදරය ලක්වීය.

ක්‍රි.පූ 334දී පමණ සිය අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමේ අරමුණින් ආසියාවට යන ගමනේදී ට්‍රෝයි නුවරට පැමිණි මහා ඇලෙක්සැන්ඩර් රජු සිය පෙම්වතා වූ හෙපයිස්ටියන්(Hephaestion) සමඟ සිය හමුදාව ඉදිරියේදීම අකිලීස් සහ පැට්‍රොක්ලස්ගේ පූජනීය සොහොනට ගෞරව කළබව ඉතිහාසයේ දැක්වේ.

පසුකාලීනව කිතුදහමින් ඇතිවුණු බලපෑම නිසා අකිලීස් සහ පැට්‍රොක්ලස් අතර තිබූ සබඳතාවය හුදු මිතුදමක් බවට පත්කර තිබුණි.

ඉතින් දැන්වත් පිළිගන්න. පිරිමින් දෙදෙනෙකුටත් පූජනීය ලෙස ආදරය කළ හැකිය.