Monday, July 30, 2012

සමලිංගිකත්වයේ ඉතිහාසය - 2



1789දී සිදුවූ ප්‍රංශ විප්ලවය නිසා එහි තිබූ රාජාණ්ඩුව බිඳවැටුණු අතර රෝමානු කතෝලික පල්ලියට ප්‍රංශයේ තිබූ ආධිපත්‍යයද ඒ සමඟම බිඳවැටුණි. ප්‍රංශයේ සියලු ජනතාවට සමානාත්මතාව සහ නිදහස ලබාදෙන පාලනයක් ඇතිවුණු අතර ඇතිවුණු නව ප්‍රංශ ජනරජයේ සියලුම පුරවැසියන් එක හා සමාන ලෙස සලකා නීති අලුතින් සකස් කෙරුණි. "පුරවැසියකුගේ පුද්ගලික ජීවිතය තවත් කෙනෙකුගේ ජීවිතය හා නොගැටෙන තාක් කල් උපරිම නිදහසක් ලබාදිය යුතුයි" යන සංකල්පය නිසා සමලිංගිකත්වය 1791දී නිරපරාධීකරණය කෙරුණි. ඒ අනුව ප්‍රංශය සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත්කළ පළමු යුරෝපා රට බවට පත්විය.  මේ නීතිය 1810දී ගෙන එනලද Code Napoléon නීතිය හරහා තවත් ශක්තිමත් විය. නැපෝලියන් අධිරාජ්‍යයා විසින් 1804 - 1815 කාලයේ යුරෝපයේ ගොඩනඟන ලද අධිරාජ්‍යය නිසා එයට යටත් වූ ඕලන්දය, බෙල්ජියම,බැවේරියාව යන රටවලද ඕලන්දයට එවකට යටත්ව පැවති ඉන්දුනීසියාවේද 1811දී සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත් කෙරුණි.

මුළු මහත් යුරෝපයටම දේශපාලනික සහ ආර්ථික බලපෑමක් කළ පළවන සහ දෙවන ප්‍රංශ අධිරාජ්‍ය නිසා එහි විප්ලවීය අදහස් ලෝකය පුරාම පැතිර යන්නට විය. ඒවනවිට යුරෝපයේ රෝමානු කතෝලික පල්ලිවල ආධිපත්‍යය පිරිහී තිබූ අතර Code Napoléonහි පූර්වාදර්ශය නිසා 1830දී  බ්‍රසීලය, 1852දී පෘතුගාලය, 1858දී ඔටෝමන් මුස්ලිම් අධිරාජ්‍යය, 1865දී සැන්මැරිනෝ,1871දී ග්වාතමාලා සහ මෙක්සිකෝව,1886දී ආජන්ටිනාව,1889දී ඉතාලිය ආදී වශයෙන් විවිධ රටවලද සමලිංගිකත්වය නිරපරාධීකරණය විය.පසුකාලීනව ලෝකය පුරා ප්‍රංශයට යටත්වුණු ප්‍රංශ ගයනාව, මැඩගස්කරය, ප්‍රංශ ඉන්දු චීනය සහ බටහිර අප්‍රිකානු රටවල් වැනි රටවල සමලිංගිකත්වයට එරෙහි නීති කිසිවක් පැනවුනේ නැත. මේ තත්ත්වය ප්‍රංශයට යටත් වූ බොහොමයක් රටවල අද දක්වාම දක්නට ලැබෙන්නකි.

ප්‍රංශය හරහා සිදුවූ මෙම ප්‍රවණතාව නිසා වෙනත් රටවල සමලිංගිකත්වයට එරෙහිව තිබූ නීති ලිහිල් විය. ඒ අනුව ජර්මනිය කේන්ද්‍රකොටගත් පෘසියන් අධිරාජ්‍යය 1794දී සමලිංගිකත්වයට පනවා තිබූ මරණ දඬුවම අත්හිටුවා ඒ වෙනුවට මාස හයක සිට අවුරුදු හතරක් දක්වා වූ සිර දඬුවමක් පැනවීය.1832දී රුසියාවේ සාර් රජ පාලනයෙන් සමලිංගිකත්වයට පැනවුණු දඬුවම වූයේ සයිබීරියාවේ අවුරුදු 5ක සිරදඬුවමකි.  1861දී එංගලන්තය සමලිංගිකත්වයට තිබූ මරණ දඬුවම ඉවත්කර ඒ වෙනුවට වසර 10ක සිර දඬුවමක් පැනවීය. මේ අයුරින් සමරිසියෙකුට එංගලන්තය තුළ සිදුකළ අවසන් මරණ දඬුවම 1835දී වාර්තා වේ.

කාල් හයින්රික් අල්රිච්(1825- 1895) 
බටහිර මනෝ විද්‍යාවේ සහ වෛද්‍ය විද්‍යාව ක්‍රමයෙන් දියුණු වීමත් සමඟ සමලිංගිකත්වයට හේතු සොයන්නට විද්‍යාඥයෝ වෙහෙසුණහ. ඒ අනුව විද්‍යාඥයෝ සමලිංගිකත්වය තවත් එක් ලිංගික යොමුවීමක් පමණක් ලෙස සලකන්නට විය. සමරිසියන්ට මෙපමණකල් භාවිතවුණු "sodomite" යන වචනය වෙනුවට "homosexual" යන වචනයසහ"heterosexual"(විෂමලිංගික),"bisexual"(ද්විලිංගික)  යන වචනද මේ මනෝවිද්‍යාත්මක පර්යේෂණ නිසා මුල්වරට භාවිතයට ආවේ 19වන සියවසේ අගභාගයේදීය.

මේ නිසා සමලිංගිකත්වයට එරෙහි නීතිරීති සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස විවිධ පුද්ගලයින් විසින් අදහස් ඉදිරිපත් වන්නට විය. කාල් හයින්රික් අල්රිච් (Karl Heinrich Ulrichs 1825- 1895) නම් ජර්මන් නීතිඥයා එසේ ප්‍රසිද්ධියේ සමරිසි අයිතිවාසිකම් පිළිබඳව කතාකළ පළමු පුද්ගලයා වන අතර ඔහු සමරිසි අයිතිවාසිකම්වල පුරෝගාමියකු ලෙස සැලකේ. සමලිංගිකයකු වූ ඔහු 1867 අගෝස්තු 29දින  ජර්මනියේ මියුනික් නුවර නීතිවේදීන්ගේ ක්‍රොංගසයෙන් සමලිංගිකත්වයට එරෙහි නීතිය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප විය.එමෙන්ම ජර්මන් අධිරාජ්‍යයේ සමලිංගිකයන්ට එරෙහිව 1871දී පණවනු ලැබූ Paragraph 175 නීතිය අවලංගු කරන ලෙස ඉල්ලා ලොව පළමු සමරිසි අයිතිවාසිකම් සංවිධානය වූ WhK(Wissenschaftlich-humanitäres Komitee, ඉංග්‍රීසියෙන්- Scientific-Humanitarian Committee) 1897දී බිහිවුණු අතර එංගලන්තයේ Order of Chaeronea නම් එවන් රහස් සංවිධානයක් එම වසරේදීම බිහිවිය.


ඔස්කාර් වයිල්ඩ්(1854-1900)
1889දී Cleveland Street Scandal නමින් ප්‍රචලිත ලන්ඩනයේ රාජකීයයකු විසින් රහසේ පවත්වාගෙන ගියා යැයි කටකතා පැතිරුණු සමලිංගික ගණිකා මඩමක් පොලිසියෙන් වටලනු ලැබීමත් 1895දී එංගලන්තයේ ප්‍රසිද්ධ රචක ඔස්කාර් වයිල්ඩ් සමලිංගික චෝදනා මත අවුරුදු දෙකක් බරපතල වැඩ සහිතව හිරට යැවීමත් නිසා සමලිංගිකත්වය පිළිබඳ පුළුල් කතිකාවතක් එංගලන්තයේ ඇතිවූ අතරHarden-Eulenburg affair නම් ජර්මන් රජකුමරෙකු සහ ජෙනරල්වරයකු අතර වූ සම්බන්ධයක් 1907දී මාධ්‍යවේදියෙකු විසින් හෙළිකිරීම නිසා එවන් කතිකාවතක් ජර්මනියේද ඇතිවිය.
මේනිසා 20වන සියවස මුල්භාගයේ සිට බටහිර ලෝකයේ සමලිංගිකත්වය සෘජුවම තේමාකරගත් නවකතා, සඟරා ලිපි සහ පුවත්පත් වාර්තාද ලියැවෙන්නට වූ අතර කෙටි චිත්‍රපටිද බිහිවිය.

 එමෙන්ම"faggot"වචනය සමලිංගිකයින්ට අපහාසයක් ලෙසත් , එතෙක් ප්‍රභාසම්පන්න අර්ථයක් ගෙනදුන් ඉංග්‍රීසි "gay" වචනය පිරිමි සහ කාන්තා සමරිසියන්ටත් , සමලිංගික, අන්තර්ලිංගික, සංක්‍රාන්තිලිංගික ඇතුළු ලිංගික සුළුතරය හැඳින්වීම සඳහා "queer" වචනයත් මුල්වරට භාවිත කිරීම ආරම්භකරන ලද්දේද 20වන සියවස ආරම්භයේ සිටය.
එකල ජර්මනියේ තිබූ gay bar එකක්

1920දශකය වනවිට ජර්මනිය, ඇමරිකාව ආදී රටවල සමලිංගිකයින් විවෘතවම සමාජයේ පෙනී සිටිමට පටන්ගෙන තිබූ අතර සමාජය තුළ සමලිංගිකයින්ගේ උප සංස්කෘතියක් නිර්මාණය වෙනු දක්නට හැකිවිය. ඇමරිකාවේ සහ ජර්මනියේ සුළුතරයට සහ සමලිංගිකයින්ට නව සමාජ පිළිගැනීමක් දක්නට වූ අතර මේ නව වෙනස්වීම එම කාලයේ අලුතින් බිහිවූ ගීතවලද දක්නට ලැබුණි. සමලිංගිකයින් වෙනුවෙන් සමිති සමාගම්, බාර් (gay club, gay bar)ද විවෘතවම ක්‍රියාත්මක විණි.ජර්මනියේ බර්ලින් නගරය ඒවනවිට ලෝකයේ සමලිංගික අයිතිවාසිකම් ව්‍යාපාරවල ක්‍රියාකාරීම නගරය බවට පත්වී තිබුණි.

 ලිංගික සාධාරණත්වය පදනම් කරගනිමින් තවත් රටවල සමලිංගිකත්වය නිරපරාධීකරණය කරන ලද අතර 1917දී රුසියානු විප්ලවයෙන් රුසියාව එම නීති ඉවත් කිරීම විශේෂ සිදුවීමක් විය. එහෙත් රුසියානු ඕතඩොක්ස් පල්ලිය සමඟ සබඳතා තර කරගැනීමේ අරමුණින් ජෝශප් ස්ටාලින්ගේ නායක්ත්වයෙන් යලිත් 1933දී සමලිංගිකත්වය සාපරාධීකරණය කෙරිණි. එමෙන්ම ඇමරිකාව යළිත් 1930දශකය තුල එංගලන්තයේ වික්ටෝරියානු සදාචාර පද්ධතීන් ක්‍රියාත්මක කිරීමත් සමඟ සිරගතකිරීම සහ සමාජයේ අවඥාවට ලක්වීම වැළක්වීමට සමලිංගිකයින්ට තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන ජීවත්වීමට බල කෙරිණි. සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස සලකා එයට එරෙහිව නීතිරීතිද ඇමරිකාව තුළ ගෙන ආවේය. එංගලන්තයේ මෙන් ඇමරිකාව තුළද සමලිංගිකයින් අල්ලා ගැනීමට තරුණ රහස් පොලිස් නිලධාරින්ව ඇමක් ලෙස භාවිත වන්නට විය. ඒ කාලයේ මානසික රෝගීන් ලෙස හඳුනාගෙන සිටි සමලිංගිකයින්ව 'සුව කිරීමට'  කර ඇඹීම(වෘෂණ හෝ ඩිම්බ කෝෂවල ක්‍රියාකාරිත්වය රසායනිකව හෝ සැත්කමකින් ඇණහිටවීම-castration), පිණ්ඩ විච්ඡේදනය(මොළයේ පූර්ව ඛණ්ඩිකාවේ ස්නායු පථවලට සැත්කම් අවහිරයක් කිරීම-lobotomy),පියුඩික් ස්නායු සැත්කම(pudic nerve surgery), විද්‍යුත්කම්පන ප්‍රතිකාරය(electoshock treatment) ආදී නිශ්ඵල ක්‍රමවේද බටහිර වෛද්‍යවිද්‍යාවේ භාවිත විය.
නාසි වධකඳවුරුවල සිරකරුවන් හඳුනාගැනීම සඳහා අලවනු ලැබූ සංකේත
රෝස පැහැ ත්‍රිකෝණ ඇත්තේ සමලිංගිකයින්ටය

නාසි වධකඳවුරුවලට ගෙන ආ සමලිංගිකයන්
1933දී ජර්මනියේ බලයට පත් කෲර ආඥාදායකයකු වූ ඇඩොල්ෆ් හිට්ලර් විසින් ජර්මනිය තුළ සමලිංගික සංවිධාන තහනම් කරන ලද අතර නාසි පක්ෂය තුළ සිටි සමලිංගිකයින්ද මරා දමන ලදී. සමලිංගිකත්වය පිළිබඳ සියලුම පොතපත පුළුස්සා දැමිණි.යුදෙව් විද්‍යාඥයෙක් විසින් පිහිටවන ලද ලිංගික පර්යේෂණ ආයතනයක්ද ගිනිබත් කරන ලදී. නාසි පක්ෂයෙන් ශුද්ධ වූ ජර්මන් ජාතියක් ගොඩනැගීමේ අරමුණින් වහලුන්, යුදෙව්වන්, දේශපාලන සිරකරුවන්,අපරාධකරුවන්,ආබාධිතයින්,අහිකුණ්ටකයින් සමඟ සමලිංගිකයින්ද අත් අඩංගුවට ගෙන සිරගත කරන ලද්දේය. 1933-1945 අතර කාලයේදී  100,000ක පමණ පිරිසක් සමලිංගිකයින් ලෙස සැකසහිතව අත් අඩංගුවට පත්වූ අතර ඉන් 50,000ක් බන්ධනාගාරගත කෙරිණි. 5000ත් 15000ත් අතර පිරිසක් නාසි වධ කඳවුරුවලට ගෙනයනු ලැබූ අතර ඉන් සියයට 60ක් වත් විජලනය, අධික ශීතල සහ වධදීම්වලට ලක්ව මියයන්නට ඇතැයි සැලකේ. රෝස ත්‍රිකෝණයකින් සංකේතවත් කරනලද සමලිංගිකයින්ට නාසි භටයින් අතින් මෙන්ම අනෙකුත් සිරකරුවන් අතින්ද අමානුෂික තාඩනපීඩන වලට ලක්වන්නට සිදුවුණු අතර උමතු විද්‍යාඥයෝ සමලිංගික ජානයක් සහ ප්‍රතිකාර සොයාගැනීමට ඔවුන්ව පර්යේෂණාගාර මීයන් ලෙස භාවිත කළහ.මේ සියල්ල සිදුවූයේ පිරිමි සමරිසියන්ටය. කාන්තා සමරිසියන්ට එතරම් තදින්  නීතිය බලනොපැවැත්වූ අතර ඔවුනට විෂමරිසි වන්නට බල කෙරිණි. එහෙත් ඔවුන්ද ජර්මන් සමාජයට තර්ජනයක් සේ සැලකිණි.

1945දී ඇමරිකන් හමුදාව විසින් මොවුන් මුදවාගනු ලැබුවද එවක පැවති ජර්මන් නීතිය නිසා ඔවුන්ව  ඒවන විටත් අපරාධකරුවන් ලෙස හංවඩු ගැසිණි. ඔවුන්ට රජයෙන් දෙනු ලැබූ දීමනා සහ විශ්‍රාම වැටුප්ද කප්පාදු කෙරිණි.සමහරුන්ව නැවතත් සිරගත කෙරිණි.කෙසේවෙතත් මේ වධබන්ධන සිදුවූ බව 1980 දශකය වනතුරු බහුතරයක් රටවල් විසින් පිළිගත්තේ නැත.ඔබ Bent(1997) චිත්‍රපටිය නැරඹුවානම් ජර්මනියේ නාසින් විසින් කළ මෙම අමානුෂික ක්‍රියා පිළිබඳව අදහසක් ලබාගන්නට පුළුවන.

දෙවන ලෝක යුද්ධයෙන් පසු වර්තමානය දක්වා යුගය ඊළඟ ලිපියෙන්....

Saturday, July 21, 2012

සමලිංගිකත්වයේ ඉතිහාසය - 1



අද කාලයේ ,මේ මහ පොළොවේ, එකම ඉර හඳ යට, එකම ආදරයක ඉරණම විධි දෙකකට විසඳෙන හැටි...

වර්තමානය වනවිට  සමලිංගිකත්වය ලොව පුරා විවිධ රටවල අහසට පොළවමෙන් පිළිගන්නා මාතෘකාවකි.සමහර රටවල සමලිංගිකත්වය මරණ දඬුවමක් හෝ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් හෝ දීමට තරම් සාපරාධී ක්‍රියාවක් වෙද්දී සමහර රටවල එය විවාහයක් කිරීමට තරම් ප්‍රබල වූ ආදරණිය බැඳීමක් ලෙස පිළිගෙන ඇත. ලෝකය පුරා මෙවන් වූ විවිධත්වයක් ඇතිවීමට කාලයත් සමඟ ඒ ඒ රටවල පවත්නා වූ විවිධ ආගම් හා බැඳුනු විවිධ සංස්කෘතීන් වල වෙනස්වීම බලපා ඇති බව ඉතිහාසය පිරික්සීමේදී පැහැදිලිවම පෙනී යන කරුණකි.
අතීත ශිෂ්ටාචාරවල පටන්ම සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් ලෙස සැලකිණි. සමලිංගිකත්වය කෙරෙහි කිසිදු ආකාරයක අප්‍රසාදයක් හෝ තහනමක් දක්නට නොලැබුණි. සමලිංගික, විෂමලිංගික ලෙස මිනිසුන් බෙදා කොන්කිරීමක් දක්නට නොවීය.
ග්‍රීක මිථ්‍යා කතාවල එන සියුස් සහ ගැනිමීඩ් අතර
ප්‍රේමයද සමරිසි එකකි.

 පුරාතන ග්‍රීසියේ පිරිමින් දෙදෙනෙකු අතර ඇතිවන ප්‍රේමය සියලු ප්‍රේමයන්ගෙන් උසස් ගණයේ ලා සැළකිණි. ඉපැරණි ග්‍රීසියේ සහ රෝමයේ වැඩිහිටි පිරිමින්ට නව යොවුන් දැරියන් විවාහ කරගන්නාක් මෙන් අවශ්‍යනම් නව යොවුන් පිරිමි දරුවන්ද දිගුකාලීන ඇසුරකට ලබාගැනීමේ හැකියාව තිබිණ.වැඩිහිටි පිරිමින් අතරද සමලිංගික ආදර සබඳතා පැවතිණි. අකිලීස් සහ පැට්‍රොක්ලස්(Achilles and Patroclus),  හාමොඩියස් සහ ඇරිස්ටොගිටන්( Harmodius and Aristogiton), පොලොපිඩස් සහ එපමිනොන්ඩස්(Pelopidas and Epaminondas), ඇලෙක්සැන්ඩර් සහ හෙපයිස්ටියන්(Alexander and Hephaestion) ප්‍රසිද්ධ ග්‍රීක සමරිසි යුවල වේ. ඇරිස්ටෝටල් විසින් මියයන තුරුම එකම වහලක් යට ආදරයෙන් ජීවත් වුණු පිලෝලස් සහ ඩයොක්ලීස්(Philolaus and Dioclese)නම් සමරිසි යුවලක් ගැන වර්ණනා කර ඇත.  හමුදාවක් වූ සමරිසි යුවල 150කින් සැදුම්ලත් තිබීසයේ පූජනීය කණ්ඩායම (Sacred Band of Thebes) එකල ග්‍රීසියේ සමලිංගිකත්වය පිළිගැනුණු බවට හොඳම සාක්ෂියකි. පසුකාලීනව ගොඩනැගුණු ඇලෙක්සැන්ඩර්ගේ ග්‍රීක අධිරාජ්‍යය තුළ සමලිංගිකත්වය පිළිබඳ ධනාත්මක ආකල්පයක් තිබුණු අතර එය ආසියාවටද පැතිරගියේය.
 පුරාණ රෝමයේ සිදුකල සමලිංගික විවාහයක්

බොහෝ දෙනෙකු සිතන්නේ සමලිංගික විවාහ යනු නව සංකල්පයක් බවයි. එහෙත් පුරාතන චීනයේ සහ රෝමයේ සමලිංගික විවාහ පවා සිදුවී ඇති බව සඳහන්වේ. නීරෝ(Nero) සහ එලගැබලෝස්(Elagabalus)  සමලිංගික විවාහ සිදුකරගත් රෝම අධිරාජ්‍යයන්  දෙදෙනෙකි. තවත් රෝම අධිරාජ්‍යයකු වූ හේඩ්‍රියන්(Hadrian) සහ ඔහුගේ පෙම්වතා වූ ඇන්ටිනුවස්(Antinous) අතර ප්‍රේමයද ඓතිහාසික එකකි. දකුණු චීනයේ මිං රාජසමයේ ඇතැම් කාන්තාවන් සහ පිරිමින් උත්සව හරහා සමලිංගික දිවියකට එළඹී ඇත.
තම ආගමික නායකයා සමඟ ස්වදේශික ඇමරිකානුවන්

අතීත දකුණු ඇමරිකාවේ ඇස්ටෙක්, මායා, ක්වේචුවා වැනි ශිෂ්ටාචාරවල සමලිංගිකයින් සමාජයේ විවෘතවම පෙනීසිටියහ.අප්‍රිකාවේ ලෙසෝතෝ සහ කොංගෝ යන රටවල්වල යටත්විජිත කරණය වීමට පෙර දිගු කාලීන සමලිංගික සබඳතා පැවති බවට සාක්ෂි ලැබී ඇති අතර පැපුවා නිව්ගිනියාවේ සහ පැසිෆික් දූපත්වල විෂමලිංගිකත්වය වෙනුවට සමලිංගිකත්වය සමරනු ලැබ ඇත. ස්වදේශික උතුරු ඇමරිකානුවන් විසින් සංක්‍රාන්තිලිංගිකයින්ව තම ආගමික නායකයින් බවට පත්කර ගරු බුහුමන් කර ඇත. අතීත රෝමයේ සහ පර්සියාවේ සමලිංගික ගණිකා මධ්‍යස්ථාන පවා පැවතුණු අතර ඒවාගෙන් බදු අයකරගෙන තිබේ. 
වැරන් බඳුන

පැරණි ජපන්, චීන, රෝම, ඉන්දියානු සහ ග්‍රීක ශිෂ්ටාචාරවල විෂමලිංගිකත්වය මෙන්ම සමලිංගිකත්වයද කලාවටද පදනම් කර ගැනුණි. ඒ අනුව චිත්‍ර, මූර්ති, කැටයම් සහ සාහිත්‍යය තුළද එය දක්නට ලැබේ.රෝමයේ වැරන් බඳුන එවන් ප්‍රසිද්ධ නිර්මාණයකි. විශේෂයෙන් ග්‍රීක, ජපන් සහ චීන සාහිත්‍යය තුළ ඊට වැඩි ඉඩක් ලැබී ඇත. හෙරඩෝටස්, ප්ලේටෝ, සිනෝපෝන් සහ ඇතේනියස් සමරිසි ප්‍රේමය ගැන පර්යේෂණ කරුණු ලියූහ.ක්‍රි.පූ 6වනසියවසේ ග්‍රීසියේ ලෙස්බෝස්(Lesbos) නම් දිවයිනේ සිටි සැපෝ(Sappho)නම් කිවිඳිය ගැහැණුන් අතර සමරිසි ප්‍රේමය වර්ණනා කරමින් කවි ලියුවාය. 
චීනයේ ක්විං රාජ සමයේ ආදරය කරන
පිරිමින් දෙදෙනෙකු දැක්වෙන සිතුවමක්
චීනයේ සූ(Zhou) රාජ සමයේ (ක්‍රි.පූ 1046-256) පිරිමි දෙදෙනෙකු අතර ඇතිවුණු සමරිසි ප්‍රේමකතාවක් චීන සාහිත්‍යයේ සඳහන් වේ. Pan Zhang  නමැති කඩවසම් කතුවරයෙකු සහ ඔහුගෙන් ඉගෙනීමට පැමිණි පිරිමින්ගෙන් කෙනෙකු වූ Wang Zhongxian දුටු පළමු මොහොතේ පටන්ම ආදරයෙන් බැඳී අනතුරුව අඹු සැමියන්මෙන් එකම ඇඳ බෙදාගනිමින් එකිනෙකාට මහත් දයාවෙන් ජීවත්වුණු යුවලක් ගැන එහි සඳහන් වේ. මොවුන් දෙදෙන පසුව එකම කාලයක මිය ගොස් ඇති අතර ඉන් මහත් දුකට පත් ජනයා ඔවුන්ව Luofu නම් පූජනීය කන්දක වළදමා ඇත. පසුව එතැන ආශ්චර්යවත් ලෙස එකිනෙක බදාගනිමින් වැඩෙන අතු දෙකක් සහිතව ගසක් සෑදුණු බව කතාව අවසානයේ කියැවේ.එමෙන්ම 18වන සියවසේ ලියැවුණු චීන සාහිත්‍යයේ මහා සම්භාව්‍ය නවකතාවක් ලෙස සැලකෙන Dream of Red Chamberහි විෂමලිංගික ප්‍රේමය මෙන්ම සමරිසි ප්‍රේමය සහ සමරිසි සබඳතා ගැනද සඳහන් වේ.  

ප්‍රංශයේදී සමලිංගිකයින් පණපිටින් පිළිස්සීම
කෙසේවෙතත් කිතු දහම යුරෝපය පුරා පැතිරයාමත් සමඟ සමලිංගිකත්වය කෙරෙහි වූ ආකල්පය වෙනස්වන්නට විය. එට හේතුව සමලිංගිකත්වය පාපයක් බව බයිබලයේ දක්වා තිබීමයි. රෝම අධිරාජ්‍යය ක්‍රිස්තියානිය රාජ්‍ය ආගම ලෙස් පිළිගැනීමත් සමඟම සමලිංගිකත්වයට එරෙහිව නීති ගෙන එනු ලැබිණ. ඒ අනුව ක්‍රි.ව. 342දී රෝමයේ දෙවන කොන්ස්ටන්ටියස්(Constantius II) අධිරාජ්‍යයා විසින් සමලිංගික විවාහය තහනම් කරන ලදී. අනතුරුව ක්‍රි.ව 390දී සමලිංගික ක්‍රියාවක යෙදීම සාපරාධී ක්‍රියාවක් ලෙස නම්කරනු ලැබූ අතර ඊට වරදකරුවන් වූවන් ප්‍රසිද්ධියේ පණ පිටින් පුළුස්සා මරාදමන ලදී. රෝම අධිරාජ්‍යයේ ඇතිවුණු දුර්භික්ෂ, භූමිකම්පා සහ වසංගත රෝගවලට සමලිංගිකයින් හේතුවන්නේ යැයි මිථ්‍යා මතයක්ද ජස්ටීනියන් අධිරාජ්‍යයා විසින් ප්‍රකාශ කර ඇත.7වන සියවසේදී පල්ලියේ ප්‍රකාශ අනුව ස්පාඥඥයේදී සමලිංගික ක්‍රියාවලට දඬුවම් දෙනු ලැබුවේ කර ඇඹීම, පිටුවහල් කිරීම, හිස බූ ගෑම සහ කසපහර සියයක් ලබාදීම ආදියෙනි.මෙලෙස කලක් සමලිංගිකත්වයට යුරෝපයේ තිබූ තත්ත්වය හාත්පසින්ම වෙනස් අතකට යොමුවන්නට විය.
සමලිංගිකත්වය පරදාර සේවනය තරම්ම පාපයක් සහ සොබාදහමට එරෙහිවූවක් ලෙස දිගින් දිගටම  රෝමානු කතෝලික පල්ලිය විසින් හංවඩු ගසනු ලැබිණ.තෝමස් ඇක්වයිනාස්( Thomas Aquinas) නම් පූජකයා සමලිංගිකත්වය මිනීමැරීමට පමණක් දෙවෙනි වන පාපයක් බවට තර්ක කළේය.14වන සියවස ලබනවිට යුරෝපය පුරාම කිතු දහම පැතිර ගොස් තිබුණු අතර ඒ අනුව පෝලන්තය ආදී ප්‍රදේශ කීපයක් හැරුණු කොට  මුළු මහත් යුරෝපයම සමලිංගික ක්‍රියාවකට මරණ දඬුවම දෙන තත්ත්වයට පත්වී තිබුණි. මේ දඬුවම් මධ්‍යතන යුගය, පුනරුද යුගයේ සිට 18වන සියවස දක්වාම යුරෝපය තුළ පැවතුණි.
Knight Richard von Hohenberg සහ ඔහුගේ පෙම්වතා
පණපිටින් පුළුස්සා මරා දැමීම

මෙම නීති දරුණුම අන්දමින් ක්‍රියාත්මක කරන ලද්දේ ප්‍රංශයේ සහ ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේය.  ෆ්ලොරන්ස් නගරයේ සිටි ගියොවානි ඩි ගියොවානි(Giovanni di Giovanni)නම් තරුණයකු ප්‍රසිද්ධියේ කර අඹා ගිනියම් වූ යකඩයකින් කලවා සහ ගුද මාර්ගය පිළිස්සීම, 1482දී රිචඩ් වොන් හොහෙන්බර්ග්( Knight Richard von Hohenberg ) නම් නයිට්වරයෙකු ඔහුගේ පෙම්වතා සමඟ ජර්මනියේ සූරිච් නගරයේදී පණපිටින් පුළුස්සා මරාදමනු ලැබීම, වංශාධිපතියෙකුගේ පුතෙකු පොළඹවා ගැනීමට යාම නිසා ප්‍රංශ කතුවරයෙකු වූ ජැක් චෝසන්(Jacques Chausson 1618–1661) පණපිටින් පුළුස්සා මරා දැමීම එකල අමානුෂික අන්දමින් ලබාදුන් දඬුවම් කිහිපයකට උදාහරණ පමණි. ලියනාඩෝ ඩාවින්සි පවා 1476දී සමලිංගික චෝදනාවක් ලැබ ඉන් නිදොස් වූ බව එකල උසාවි වාර්තාවක තිබී හමුවී ඇත.
ඉන්දියාවේ මෝගල් යුගයේ සිතුවමක්
7වන සියවසේදී අරාබියෙන් ඉස්ලාම් දහම් ව්‍යාප්තවීම ඇරඹුණු අතර අරාබීහු මොරොක්කෝවේ සිට ඉන්දියාව දක්වා විශාල අධිරාජ්‍යක් ගොඩනැගීය. කුරාණයේ සඳහන්වන පරිදි සමලිංගිකත්වය දඬුවම් ලබා දිය යුතු පාපයක් බැවින් කාලිෆ් අල්-හයිඩි යටතේ ක්‍රි.ව. 785දී මුළු මහත් අරාබි අධිරාජ්‍යය පුරාම සමලිංගිකත්වයට මරණ දඬුවමක් දීම නීතිගත කෙරිණි. එවන් නීති සමහර මැදපෙරදිග රටවල්වල වර්තමානය වන තුරුම පවතියි. එහෙත් යුරෝපය සහ අරාබිකරය තුළ තත්ත්වය මෙසේ වුවත් ලොව අනෙක් ප්‍රදේශවල සමලිංගිකත්වය කෙරෙහි කිසිදු තහනමක් දක්නට නොලැබුණි.

ස්පාඥ්ඥවරුන් විසින් දකුණු ඇමරිකාවේ කළ ඝාතන
පසුව 15වන සියවසෙන් ඇරඹි දේශ ගවේෂණ යුගයේදී ස්පාඥ්ඥ, පෘතුගීසි, ඕලන්ද, ඉංග්‍රීසි සහ ප්‍රංශ ජාතිකයෝ ඇමරිකාවේ, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල් යටත් කරගන්නට පටන් ගත්හ. තම තමන්ගේ යටත්විජිතවල තම ආගම, සංස්කෘතිය සහ නීතිය ස්ථාපිත කිරීමට යුහුසුළු වූ යුරෝපීයයෝ ඒ අනුව සමලිංගිකත්වයට එරෙහිව එම යටත්විජිත වලද නීති ස්ථාපිත කළහ. ඒ අනුව ස්පාඥ්ඥයෝ ක්‍රි.ව. 1540 සහ 1700 අතර කාලයේ දකුණු ඇමරිකානු ශිෂ්ටාචාරවල සිටි සමලිංගිකයින් 1600කට අධික පිරිසක් බල්ලන් ලවා කැවීමෙන් සහ පිළිස්සීමෙන් මරාදමනු ලැබූහ. 1533දී එංගලන්තයේ අටවන හෙන්රි රජු විසින් පනවන ලද නීති පද්ධතිය යටතේ ඉංග්‍රීසින් විසින් තම අධිරාජ්‍යය තුළ  පිරිමි සමලිංගිකයින්ව 1861 දක්වාම එල්ලා මරාදමනු ලැබිණි. කාන්තා සමලිංගිකත්වය සිදුවිය නොහැක්කක් ලෙස එංගලන්තයේ පිළිගෙන තිබූ නිසා එයට එරෙහිව නීති පැනවුණේ නැත. මෙලෙස මෙපමණකල් සාමාන්‍යකරණය වී තිබූ සමලිංගිකත්වය යුරෝපීයයන් නිසා සාපරාධීකරණය වීමක් ලොවපුරා සිදුවිය.  කතෝලික සහ ඉස්ලාම් ආගම් වල බලපෑම නිසා චීනයේද එම ආකල්ප වෙනස් වන්නට විය. චීනයේ ක්විං(Qing) රජ සමයේදී(1644-1912) හා ජපානය 1873දී සමලිංගිකත්වය සාපරාධීකරණය කෙරිණ.නමුත් 1880දී ජපානය එම නීති ඉවත් කළේය.

සමලිංගිකයින්ට එරෙහි නීති ලෝකයෙන් ක්‍රමයෙන් ඉවත්වුණු හැටි මීළඟ ලිපියෙන්.

Saturday, July 7, 2012

සමලිංගිකත්වය තේමා කරගත් සිනමා නිර්මාණ


සමලිංගිකත්වය තේමා කරගනිමින් විවිධ රටවල සිනමා නිර්මාණ එළි දැක ඇත. බොහෝවිට සංවේදී කතාවක් ඇති මේ සිනමා නිර්මාණ විචාරකයන්ගේ කතාබහට මෙන්ම මතභේදයට තුඩු දෙන අවස්ථාද බහුලය. සිනමා සම්මාන දිනාගනිමින්ද විවිධාකාරයේ විවේචනයන්ට ලක්වෙමින්ද මේ සිනමා නිර්මාණ ලෝකයට එළි දකියි. බහුතර ලෝකයා නොදකින මිනිසුන්ගේ සිත්වල ඇති සැඟවිය නොහැකි සිතුවිලිවල යථාර්තය මෙයින් පෙන්නුම් කරයි. මේ ඒවා අතුරින් වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් චිත්‍රපටි සමහරකි.

1.Brokeback Mountain(2005)
බටහිර ඇමරිකාවේ ගොපලු කොල්ලන්(Cowboys) දෙදෙනෙකු අතර ගොඩනැගෙන සංකීර්ණ ආදර කතාවකි. Ang lee විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි ප්‍රධාන චරිත රඟදක්වනු ලබන්නේ සම්මානීය නළු Heath ledger සහ Jake Gyllenhaal විසිනි.  සම්මාන 71ක් දිනා ගනු ලැබූ අතර තවත් සම්මාන 52කට නිර්දේශ විය.  ලොව බිහිවූ ආදර චිත්‍රපටි(romance movies) අතර වැඩිම ආදායමක් ලැබූ දසවන චිත්‍රපටිය මෙය වේ.

2. Maurice(1987)
20වන සියවසේ එංගලන්තයේ සිටින Maurice Hall නම් පුද්ගලයකුගේ ජීවිතය කතාව කරගත් චිත්‍රපටියකි.ඔහුගේ පිරිමින් සමඟ ගොඩනැගෙන සබඳතා සහ ඔහු සමලිංගිකත්වයෙන් මිදීමට දරන වෑයම එහි කැපීපෙනෙයි. එකල එංගලන්තයේ සමලිංගිකත්වය සිරදඩුවමක් දිය හැකි වරදක් බවට පත්කර තිබූ නිසා සමරිසියන් බියෙන් ජීවත්වූ ආකාරය මින් පැහැදිලිව දිස්වේ.


3.Priest(1994)
චිත්‍රපටි සම්මාන උළෙල තුනකදී හොඳම චිත්‍රපටිය සඳහා නිර්දේශ වුණු මෙම චිත්‍රපටිය සමලිංගිකත්වය සහ කිතු දහම අතර ඇති ගැටීම පෙන්වයි. Greg නම් කතෝලික පූජකයෙකු, ඔහුගේ සමලිංගිකත්වය සමඟ සිදුකරන සටන මෙහි කතාවට පදනම් වී ඇත. කතෝලික සංවිධානවල දැඩි මතභේදයට තුඩු දුන් මෙම චිත්‍රපටියට ඇමරිකානු දර්ශකයක් ලබා ගැනීම සඳහා නැවත සංස්කරණයට ලක් කිරීමට පවා සිදුවිය.

4. Prayers for Bobby(2009)
70දශකයේ ඇමරිකාවේ ජීවත්වූ Bobby Griffith නම් තරුණයෙකුගේ සත්‍ය ජීවිත කතාවක් ගෙනහැර දක්වන රූපවාහිනී චිත්‍රපටියකි. බොබී තමන් සමරිසියෙකු බව පවුලට හෙළිකිරීමෙන් පසු ඔහු සහ ඔහුගේ මව අතර ඇතිවන සංවේදී කතාවක් මෙම චිත්‍රපටිය පුරාම දිවෙයි. සම්මාන දිනූ සහ තවත් සම්මානවලට නිර්දේශ වූ චිත්‍රපටියකි.

5.Beautiful thing(1996)
එංගලන්තයේ පාසල් වයසේ යොවුන් පිරිමි දරුවන් දෙදෙනෙකු අතර ඇතිවන ආදර කතාවක් තේමා කරගත් චිත්‍රපටියකි. Ste  සහ Jamie සිය ආදරය කියාගත නොහැකිව ලතවී , ආදරය හමුවේ මුහුණ දෙන අභියෝග මෙහි කතාව පුරාම දිවෙයි.


6.Milk (2008)
ඇමරිකාවේ සිටි සමලිංගික අයිතීන් ක්‍රියාකාරිකයෙකු සහ දෙශපාලනඥයකු වූ Havery Milk ගේ ජීවිත කතාව අලලා සැකසුනු චිත්‍රපටයකි. ඔහු විවෘතව සමලිංගිකයෙකු ලෙස කැලිෆෝනියාවේ ඡන්දයෙන් තේරී පත්වූ පළමු පුදගලයා වේ. සමලිංගිකයෙක් ලෙස ඔහු සමාජයට මුහුණදෙන අයුරු මෙම චිත්‍රපටියෙන් මනාව පැහැදිලි වේ.

7.Bent(1997)
දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ හිට්ලර් විසින් සමලිංගිකයින් සිරමැදිරිවලට ගෙනයන විට ඊට හසුවුණු Max සහ Horst නම් පුද්ගලයින් දෙදෙනෙකුගේ සංවේදී කතාවකි. 1997දී කාන්ස් සම්මාන උළෙලේදී යොවුන් සම්මානය හිමිවිය.


8.Bangkok love story(2007)
තමන් මැරීමට ආ කුලියට මිනීමරන්නෙකු සමඟ ආදරයෙන් බැඳුනු මිනිසෙකු ගැන සංවේදී කතාවක් ගැන කියවෙන තායි චිත්‍රපටියකි. Maek නම් මිනීමරුවා සමඟ Lht ගේ ඇතිවන සංකීර්ණ  ප්‍රේමය කියවෙන මෙය ක්‍රියාදාම ගණයේලාද සැලකිය හැකි චිත්‍රපටියකි.

ඔබත් කැමති නම් මේ සිනමා නිර්මාණ නරඹන්න.