![]() |
ඇලෙක්සැන්ඩර් සහ හෙපයිස්ටියන් |
![]() |
ඇලෙක්සැන්ඩර් හෙපයිස්ටියන් සමඟ දඩයම් කරමින් |
යොවුන් ඇලෙක්සැන්ඩර් තම මිතුරන් අතරින් තමවයසේම සිටි හෙපයිස්ටියන්ට මහත් ඇලුම් කළ අතර ඔවුන් දෙදෙනා ඒ නිසාම අඹ යහළුවන් බවට පත් වූහ. වයස අවුරුදු 15 පටන් මොවුන් දෙදෙනා එක්ව බෝට්ටු සංචාර වල යෙදුණු බව සඳහන් වී ඇත. ඇලෙක්සැන්ඩර් වයස අවුරුදු 16 දී තම අධ්‍යාපනය හමාර කර යළි පැමිණි අතර ඒ වනවිට ඔහු සහ හෙපයිස්ටියන් කඩවසම් සහ බුද්ධිමත් රණශූරයින් දෙපළක් බවට පත්ව තිබුණි.
![]() |
ඇලෙක්සැන්ඩර් සටන්බිමේදී |
මේ වනවිට ඇලෙක්සැන්ඩර් සහ හෙපයිස්ටියන් දෙදෙනාගේ මිත්‍රත්වය ආදර සම්බන්ධයක් බවට පත්වී තිබූ අතර, මේ නිසා සිය පුතුට කාන්තාවන් කෙරෙහි ආශාවක් ඇති නොවී දරුවන් නොලබතැයි බිය වූ රජ යුවළ කැලික්සීනා(Kallixeina) නම් වෘත්තිමය ගණිකාවක් ඔහු වෙත ගෙන ආවේය. එහෙත් ඇලෙක්සැන්ඩර් එය ප්‍රතික්ෂේප කර සිය පියාට රාජ්‍ය කටයුතු සඳහා සහය වන්නට විය.පර්සියන් අධිරාජ්‍යයද යටත් කර ගැනීමට සැලසුම් කලද සිය මාළිගාවේදී ඇතිවූ කෝලහාලයක් නිසා පිලිප් රජු මරා දමන ලදී. මේ නිසා එවකට වයස අවුරුදු 20ක්ව සිටි ඇලෙක්සැන්ඩර්, තෙවන ඇලෙක්සැන්ඩර් නමින් රාජ්‍යත්වයට පත් විය.සිය පියාගේ අභිලාෂය ඉටුකිරීමේ අරමුණින් ඇලෙක්සැන්ඩර් පර්සියන් අධිරාජ්‍යය ආක්‍රමණය කිරීමට තීරණය කළේය.එවකට එම අධිරාජ්‍යය සුළු ආසියාව(වර්තමාන තුර්කිය), ඊජිප්තුව, මෙසපොතේමියාවේ සිට ඉන්දියාව දක්වා ව්‍යාප්ත වී තිබුණි.
![]() |
ඇලෙක්සැන්ඩර් (දකුණේ) සහ හෙපයිස්ටියන් ඇලෙක්සැන්ඩර් චිත්‍රපටියේදී |
![]() |
අකිලීස් සහ පැට්‍රොක්ලස්ගේ සොහොනට ගෞරව කිරීම |
ඇලෙක්සැන්ඩර්, හෙපයිස්ටියන්ට කොතරම් ආදරය කළේද යත් ඔහුට වෙනත් පිරිමින් අවශ්‍ය නොවීය.වරෙක ඔහුගේ එක් සෙන්පතියෙක් අයෝනියාවේ(වර්තමාන තුර්කියේ කොටසක්)දී එක් කඩවසම් පිරිමි වහළෙක් දැක ඔහුගේ රූපය වර්ණනා කරමින් ඔහුව මිලට ගෙන එවන්නදැයි විමසා ඇලෙක්සැන්ඩර්ට පණිවිඩයක් යැවීය.එහෙත් මින් කෝපයට පත් ඇලෙක්සැන්ඩර් එම සෙන්පතියාට තමන් කාමාශාවන් පසුපස දුවන්නෙක් නොවේ යැයි බැණවදිමින් පිළිතුරු යැවීය.ඇලෙක්සැන්ඩර්ගේ හමුදාව තුන්වන ඩේරියස් අධිරාජ්‍යයාගේ(Darius) පර්සියන් හමුදාව සමඟ ඉසස් හි සිදුවූ මහා සටනින්(Battle of Issus) ජයගත් අතර එවකට ඊට යටත්ව පැවති ෆීනීසියාවද( වර්තමාන ලෙබනනය) යටත් කර ගත්තේය. ඩේරියස් රජු පළා ගියද රාජකීය පවුල ජීවග්රහයෙන් අල්ලගන්නා ලදී. ඇලෙක්සැන්ඩර් සහ හෙපයිස්ටියන් දෙදෙන අල්ලාගත් රජ පවුල බැලීමට ගිය විට විශේෂ සිදුවීමක් සිදුවිය.
![]() |
ඉසස්හි සිදුවූ මහා සටන |
ඒ වනවිට ඇලෙක්සැන්ඩර්, හෙපයිස්ටියන් දෙදෙනා කොතරම් එකිනෙකාට බැඳී තිබුණාද කිවහොත් තනතුරු වෙනස් වුවත් දෙදෙනාම අඳින ලද්දේ එකම ඇඳුම් පැළඳුම්ය. මේ නිසා පර්සියන් රජ බිසව වූ සිසිගම්බිස්(Sisygambis)ට ඇලෙක්සැන්ඩර් කවුදැයි අඳුනාගත නොහැකි විය. මේ නිසා ඇලෙක්සැන්ඩර්ට වඩා තේජාන්විත පෙනුමින් සහ උසින් යුතු හෙපයිස්ටියන්, ඇලෙක්සැන්ඩර් යැයි සිතූ ඇය ඔහු හමුවේ අභයදානය ඉල්ලා දණින් වැටුණාය. එහෙත් ඇයට වැරදුණු බව දැනගත්විට ඈ මහත් ලැජ්ජාවට පත් වූවාය. එහෙත් ඇලෙක්සැන්ඩර් "මෑණියනි, ඔබට වැරදී නැත. මොහුත් ඇලෙක්සැන්ඩර්ය" යනුවෙන් පැවසීය. මේ කියමන දෙදෙනා අතර ඇති ප්‍රේමනීය බැඳීම පැහැදිලිවම පෙන්නුම් කරයි.
![]() |
පර්සියන් රජ බිසව හමුවූ අවස්ථාව |
යළි පැමිණි හෙපයිස්ටියන්ට ප්‍රධාන අණදෙන්නාගේ තනතුර ලැබුණ අතර ඔහු යටතේ ඇලෙක්සැන්ඩර්ගේ අණින් හමුදාව පර්සියාව(වර්තමාන ඉරානය) යටත් කරගැනීම සඳහා හමුදාව ගමන් කළේය. එහිදී ක්‍රි. පූ. 331 දී සිදුවූ ගෝගමේලා සටනින්(Battle of Gaugamela) පර්සියන් හමුදාව පරදවා විශිෂ්ට ජයක් ලැබීය. පර්සියාවේ ඩේරියස් අධිරාජ්‍යයා එක්බටානා(Ecbatana) කඳු වෙත පළා ගියේය. මේ නිසා ඇසිරියාව හා බැබිලෝනියාව(වර්තමාන ඉරාකය) ඇතුළු විශාල ප්‍රදේශයක් ඔහුට යටත් විය. තවත් ඉදිරියට ගමන්කළ ඔහු ඇතුළු සේනාව අධිරාජ්‍යයේ අගනුවර වූ පර්සෙපොලිස්(Persepolis) වෙත පැමිණ මුළු මහත් පර්සියාවම යටත් කරගත්තේය.ඩේරියස්ව බැක්ට්‍රියාවට(වර්තමාන ඇෆ්ගනිස්ථානයේ ප්‍රාන්තයකි) පලායන අතරමගදී බේසස් නම් පර්සියන් ප්‍රාදේශීය පාලකයකු විසින් මරා දමන ලදි . ඩේරියස්ට රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පැවැත්වූ ඇලෙක්සැන්ඩර් 'රජුන්ගෙත් රජු ' යන විරුදාවලිය ලබාගනිමින් ක්‍රි.පූ 330දී පර්සියාවේ අධිරාජ්‍යයා ලෙස රාජ්‍යත්වයට පත්විය. මැසිඩෝනියන්වරු, ග්‍රීකයින් සහ පර්සියන්වරු සමගියෙන් වාසයකරන අධිරාජ්‍යයක් තැනීම ඔහුගේ අරමුණ විය. එනිසා ඔහු පර්සියන් සංස්කෘතිය අනුගමනය කරමින් එම ඇඳුම් පැළඳුම් වලින් සැරසුනේය. පර්සියන් චාරිත්‍ර සිය රාජසභාවට ද ගෙනාආවේය.
![]() |
ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍යය එහි උපරිම අවස්ථාවේදී දැක්වෙන සිතියමක් |
මේ කාලයේදී හෙපයිස්ටියන් රාජ සභාව තුළ දෙවැනි වූයේ ඇලෙක්සැන්ඩර්ට පමණි. ඔහුව අශ්වාරෝහක හමුදාවේ සෙන්පති මෙන්ම හමුදාවේ දෙවන ප්‍රධාන අණදෙන්නා බවට පත්කර තිබුණි. අධිරාජ්‍යයාට මෙතරම් සමීපව සිටි නිසා හෙපයිස්ටියන්ට රාජසභාව තුළ සතුරන් බහුල විය. මේ නිසා හෙපයිස්ටියන් සහ රාජ්‍ය නිලධාරින් සමහරක් සමඟ මත ගැටුම් පවා ඇතිවිය. වරෙක මේ ගැටුමක් කඩුසටනක් දක්වා දුරදිග ගිය අතර ඇලෙක්සැන්ඩර්ගේ මැදිහත්වීමෙන් එය විසඳන ලදී. දෙදෙනාගේ මේ ආදර සබඳතාවට ඇලෙක්සැන්ඩර්ගේ මව වූ ඔලිම්පියාස් බිසව බොහෝ ලෙස ඊර්ෂ්‍යා කළාය. මේ නිසාම හෙපයිස්ටියන් තමන්ට ඇලෙක්සැන්ඩර් තරම් දෙයක් තවත් නැති බැවින් තමා සමඟ ගැටුම් ඇතිකරනොගන්නා ලෙස පවසමින් ලියුම් පණිවිඩ පවා ඇය වෙතයවා ඇති බව සඳහන්ය. වරෙක දාර්ශනිකයකු වූ ඩයොජීන්ස් ඇලෙක්සැන්ඩර්ට යවන ලද ලිපියක මෙසේ සඳහන් විය.
" ඔබට උතුම් පුද්ගලයකු වීමට නම් ඔය හිසේ ඇති වැරහැලි ඉවත ලා අපවෙත එන්න.එහෙත් ඔබට එය කළ නොහැකිය, මක්නිසාද යත් ඔබ හෙපයිස්ටියන්ගේ කලවා මගින් පාලනය වන බැවිනි"
"If you want to be noble and ideal, throw away the rag you have on your head and come to us. But you won't be able to, for you are ruled by Hephaestion's thighs."
මේ අතර තමන් පර්සියාවේ අධිරාජ්‍යයා යැයි කියාගනිමින් ඇලෙක්සැන්ඩර්ට විරුද්ධව සේනා සංවිධානය කරමින් සිටි බේසස්(Bessus) ඇල්ලීමට බැක්ට්‍රියාවට යාමට ඇලෙක්සැන්ඩර් තීරණය කළේය. එහිදී බේසස්ව මරා, බැක්ට්‍රියාව මෙන්ම සොඩිගානා(වර්තමාන ටජිකිස්ථානය) රාජ්‍යය ඇතුළු මධ්‍යම ආසියාවේ කොටසක් තම අධිරාජ්‍යයට ඈදා ගැනීමට ඔහුට හැකිවිය.
![]() |
ඇලෙක්සැන්ඩර් සහ රොක්සානා |
![]() |
හිඩස්පස්හිදී සිදුවූ සටන, නිල් පැහැයෙන් ඇඳ සිටන ඇලෙක්සැන්ඩර් ළඟ රතු පැහැති ලෝගුවක් ඇඳ සිටින්නේ හෙපයිස්ටියන්ය. |
ඉන්පසුව ඉන්දියාවේ නන්ද අධිරාජ්‍යය යටත් කර ගැනීමේ අරමුණින් ඔහු නැවත ගමන් ආරම්භ කළත් ඒවනවිට වසර ගණනක් සටන්කළ හමුදා සෙබළුන්ට විවිධ රෝග වැළදී දුබල වී තිබීමත්, මගධයේ යුධ ශක්තිය ගැන බිය වීමත් නිසා හමුදාව තවදුරටත් ඉදිරියට ගමන් කිරීම ප්‍රතික්ෂේප කළේය. ඒ නිසා හෙපයිස්ටියන්ට හමුදාව භාරකළ ඔහුට යළි ඉන්දු නිම්නය දිගේ යළි පර්සියාව බලා යන්නට සිදුවිය.
![]() |
විවාහ මංගල්‍යය, මැද සිටන ඇලෙක්සැන්ඩර්ට වම්පසින් සිටින්නේ හෙපයිස්ටියන්ය |
ඔහු නැවත පර්සියාවට පැමිණෙන විට පර්සියන්වරු සහ ග්‍රීකයින් අතර මතගැටුම් උත්සන්න වී තිබුණි. මේවා නැවැත්විය නොහැකි වූ තැන ඔහු සහ තම සේනාධිපතිවරුන්ට පර්සියන් කුමරියන් විවාහ කර ගැනීමේ මහා විවාහ මංගල උත්සවයක් සූසා(Susa) නගරයේදී පැවැත්වීය. ඩේරියස් රජගේ වැඩිමහල් දියණිය වූ ස්ටැටියිරා(Stateira) කුමරිය සමඟ ඔහු විවාහ විය. හෙපයිස්ටියන්ව රජපවුලට එක්කර ගැනීමේ අරමුණින් ස්ටැටියිරා කුමරියගේ සොහොයුරිය වූ ඩ්රයිපේටිස්(Drypetis) කුමරිය ඔහුට විවාහ කරදුන්නේය. එකල ග්‍රීක රජවරුන්ට තිබූ සම්ප්රදාය අනුව ගැහැණුන් සමඟද විවාහ වී අවශ්‍ය නම් පිරිමි ආදරවන්තයින්ද තබාගත හැකිව තිබූ බැවින් හෙපයිස්ටියන් සහ ඇලෙක්සැන්ඩර්ගේ ආදරයට මෙම විවාහ ප්‍රශ්නයක් නොවීය. ඇත්තෙන්ම ඇලෙක්සැන්ඩර් සිදුකල මෙම විවාහ හුදු දේශපාලන කරුණු මත සිදුකල ඒවා පමණක්ම විය.
ඩේරියස් රජුගේ ප්‍රියතමයෙක් වූ ෂණ්ඩකයකු(වෘෂණ කප්පාදු කරන ලද්දෙක්) වූ බැගෝස්(Bagoas) රූපයෙන් හෙබි යෞවනයෙක් විය. ඉන්දියාවට ගොස් පැමිණි ඇලෙක්සැන්ඩර් සමඟ කුළුපග වීමට මොහුට හැකිවිය. දිනක් බැගෝස් ගායනයට සහ නර්තනයට රජ මාළිගයේ තිබූ තරඟයෙන් දිනූ විට අනෙක් මැසිඩෝනියානුවන් විසින් ඇලෙක්සැන්ඩර්ට ඔහුව සිපගන්නැයි කියමින් අත්පුඩි ගසා ඇත. එවිට ඇලෙක්සැන්ඩර් විසින් මොහුව මෘදුව සිපගත් බව කියවේ.සමහරු බැගෝස් ඇලෙක්සැන්ඩර්ගේ ආදරවන්තයා යැයි පැවසුවත් ඉතිහාසඥයින් පවසන්නේ එය අවිනිශ්චිත බවයි.
විවාහයෙන් මාස හතරකට ක්‍රි.පූ 324දී පසු ඇලෙක්සැන්ඩර් සහ හෙපයිස්ටියන් රැස්කරගත් පර්සියානු ධනසම්පත් ලබාගැනීමට එක්බටානා කඳු වෙත ගියහ.හෙපයිස්ටියන් අතරමඟදී උණ රෝගයක් වැළඳී අසනීප වුණු නමුත් එවිට පැවැත්වුණු උත්සව සහ ක්‍රීඩා උළෙලට ඇලෙක්සැන්ඩර්ට, රජු හේතුවෙන් සහභාගී වීමට සිදුවිය. හෙපයිස්ටියන්ගේ රෝග තත්ත්වය එන්න එන්නම නරක අතට හැරුණු නිසා ඇලෙක්සැන්ඩර් ඔහුව බැලීමට පැමිණි මුත් ඒ වනවිට පමා වැඩිවිය. හෙපයිස්ටියන් අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබුණි. කොතරම් නිර්භීත රණශූර අධිරාජ්‍යයකු වුවත් සිය ආදරය අහිමිවීම ඇලෙක්සැන්ඩර්ට දරාගත නොහැකි වීය. ඔහු හෙපයිස්ටියන්ගේ සිරුර මත වැතිරී දවසක් පුරා කදුළු සලමින් අවසානයේ සිය මිතුරන් විසින් ඔහුව ඇදගෙනයන තුරුම සිටි බව කියැවේ. එමෙන්ම ඇලෙක්සැන්ඩර් හෙපයිස්ටියන්ගේ මියයාමෙන් දවස් දෙකක් යනතුරු කිසිදු ආහාරයක් නොගෙන සිය සයනයේ හඬමින් වේදනාවෙන් කල්ගත කළබවත් කියැවේ.
ඇලෙක්සැන්ඩර් සිය අධිරාජ්‍යය පුරා ශෝකකාලයක් ප්‍රකාශයට පත්කළ අතර, ඒ අනුව සියලු අශ්වයින්ගේ වලිග සහ කේසර කොටකර කපන්නත්, අසල්වැසි නගරවල ආරක්ෂක පවුරු ඉවත්කරන්නත්, සියලු ආකාරයේ සංගීත භාණ්ඩ තහනමකුත් නියම විය. හෙපයිස්ටියන් විසින් දරන් ලද අශ්වාරෝහක හමුදා ප්‍රධානී තනතුරට වෙනත් අයෙක් පත් නොකරන ලද අතර ඔහුගේ නාමය එහි සදා රැකෙන අයුරින් ඔහුගේ රූපය අශ්ව හමුදාව ඉදිරියෙන් ගෙන යාමට නියම කරන ලදී.
![]() |
අදටත් දැකගතහැකි එක්බටානාහි සිංහයා ලෙස හැඳින්වෙන හෙපයිස්ටියන්ගේ සොහොන |
බැබිලන්හිදී හෙපයිස්ටියන් වෙනුවෙන් ක්‍රීඩකයින් 3000කගේ සහභාගිත්වයෙන් අවමංගල්‍ය ක්‍රීඩා උත්සවයක් පවත්වනලද්දේය. ඔහු වෙනුවෙන් අඩි 60ක් උස තට්ටු හතකින් යුත් රන් සොහොනක් ඉදිකිරීමටද ඇලෙක්සැන්ඩර් සැලසුම් කළේය.හෙපයිස්ටියන්ව දේවත්වයට පත් කළ හැකිදැයි අසා ඊජිප්තුවේ සිවාහි ඔරකල් වෙත පණිවිඩ යවනු ලැබුවත් ඔහුව දිව්‍යමය විරුවෙකු ලෙස පමණක් ඇදහීමට අවසර ලැබිණ. මින් සෑහීමට පත් වූ ඔහු හෙපයිස්ටියන් වෙනුවෙන් දේවාල ඉදිකිරීමද ආරම්භ කළේය.මෙමගින් තමන්ට සියලු දෙවියන් සහ විරුවන් වෙසෙන දෙව්ලොවදී හෙපයිස්ටියන්ව මුණ ගැසීමට හැකිවේයැයි ඒ වනවිටත් සියුස් දෙවියන්ගේ පුතු ලෙස නම් ලත් ඔහු විශ්වාස කළේය.
![]() |
පුරාණ විස්තර වලට අනුව ඉදිකිරීමට නියමිත්ව තිබූ හෙපයිස්ටියන්ගේ රන් සොහොනේ සිතුවමක් ඇලෙක්සැන්ඩර් තවත් කල් ජීවත් වූවානම් ඔහු විසින් අනිවාර්යයෙන්ම මෙය සාදා නිම කරනවා ඇත. |
මේ සියල්ල මැද ඔහුට හෙපයිස්ටියන් නොමැති වේදනාව දැනෙන්නට විය. ඒ නිසාම ඔහු අධික ලෙස මත්පැනට ඇබ්බැහි විය.මෙනිසාත් යුද්ධයේදී සිදුවූ අධික තුවාලවල ප්‍රතිවිපාක නිසාත් ඔහුගේ සෞඛ්‍යය දිනෙන් දිනම පිරිහෙන්නට විය. වැඩිකල් නොගොස්ම ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා හෙපයිස්ටියන්ගේ මරණයෙන් මාස අටකට පසු, උණ රෝගයක් වැළඳී ක්‍රි.පූ.323 දී බැබිලන් නගරයේදී මිය ගියේය. ඒ වනවිට රොක්සානා බිසව සිව්මසැති ගැබිණියක්ව සිටියාය. අධික වියදමක් යන හෙයින් හෙපයිස්ටියන්ගේ රන් සොහොනද ඔහු වෙනුවෙන් දෙවොල්ද ඉදිකෙරුණේ නැත.
ඉන්පසු රොක්සානා බිසව ඇලෙක්සැන්ඩර්ගේ ශරීරාරක්ෂක ප්ර්ඩිකාස්ගේ(Perdiccas) සහයෙන් ස්ටැටියිරා සහ ඩ්රයිපේටිස් බිසවුන් මරාදමා මැසිඩෝනියාවට ගියේය. ඈ එහිදී ඔලිම්පියාස් බිසවගේ රැකවරණය ලැබුවාය. එහිදී උපත ලැබූ ඇලෙක්සැන්ඩර්ගේ පුතුට ක්‍රි.පූ 305දී මුළු මහත් අධිරාජ්‍යයම භාරදීමට නියමිතව තිබුණත් කැසැන්ඩර් එම පුතු සහ රොක්සානා බිසව මරා දමමින් මැසිඩෝනියාවේ රාජ්‍යත්වයට පත්විය.උරුමකරුවකු නොමැති නිසා අධිරාජ්‍යය ඔහුගේ සෙන්පතිවරුන් අතරේ බෙදී ගියේය.ඇලෙක්සැන්ඩර්ගේ ගලින් කළ මිනීපෙට්ටිය සෙන්පති ටොලමි විසින් මැසිඩෝනියාවට ගෙන යන අතරමගදී පැහැරගෙන ඊජිප්තුවේ මෙම්පිස් නුවරට ගෙනගියේය.පසුකාලයේ එය ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නුවර තැන්පත් කරන ලදී.
![]() |
ඇලෙක්සැන්ඩර් චිත්‍රපටිය |
සිනමා අධ්යක්ෂ ඔලිවර් ස්ටෝන්(Oliver Stone) විසින් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ජීවිත කථාව අළලා 'Alexander'නම් චිත්‍රපටියක් නිෂ්පාදනයට සැරසුණේය. එහෙත් ඇලෙක්සැන්ඩර්ගේ සමලිංගිකත්වය නිරූපණය වනවාට අකමැති වූ ග්‍රීක රජය චිත්‍රපටිය රූගත කිරීම සඳහා ග්‍රීසියේ ඉඩ නුදුන්නේය. එනිසා ඔහුට රූගත කිරීම් කරන්නට සිදු වූයේ මොරොක්කෝවේ සහ තායිලන්තයේදීය. සමභීතිකාවෙන් පෙළුණු ග්‍රීක නීතිඥයින් පිරිසක් වෝනර් බ්‍රදර්ස් සමාගමට එරෙහිව නඩු පවරන බවට තර්ජනය කරමින් ඔවුන්ගේම උරුමය පාගාදමමින් මෙය හුදු ප්‍රබන්ධයක් ලෙස චිත්‍රපටිය මුලදී දර්ශනය කරන ලෙස ඉල්ලා සිටිමින් ලිපි පවා ඔලිවර් වෙත එවීය.
කෙසේ හෝ අවුරුදු 15ක උත්සාහයෙන් පසු 2004දී චිත්‍රපටිය නිලවශයෙන් එළිදැක්විණ. එහෙත් එයට හොලිවුඩයෙන් ලැබුණේ ඇල්මැරුණු ප්රතිචාරයකි. එහි තිබූ සමලිංගික දර්ශන ඉවත්කරන මෙන් චිත්‍රාගාරය වෙත එල්ල වුණු දැඩි පීඩනය නිසා ඔහුට 2007දී චිත්‍රපටියේ යළි සංස්කරණයක් එළි දක්වන්නට සිදුවිය.
මේ එම චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටයයි.
කවුරුන් කෙසේ කීවද සත්‍යය යටපත් කළ නොහැකිය.ඇලෙක්සැන්ඩර් සහ හෙපයිස්ටියන්ගේ ආදරය ඔවුන්ගේ නාමයන් ඉතිහාසය තුළ පවතින තාක්කල්ම පවතිනු ඇත.